කෝච්චිය පරක්කුයි. සීතල හුළඟත් එක්ක එන හිරිකඩට ඔලුවෙ ඉඳන් තෙමෙනවා. ඒත් කුඩේකුත් නැතුව හොඳ ගාණට තෙමිලා, පෙඟිලා ඉන්න නිසා ඒක ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ මට. මම උඩ බිම බල බල ඉන්නවා. කෝච්චිය තවම නෑ. මට ටිකක් ඈතින් තාත්තෙක්ගෙ අතේ එල්ලුන පුංචි කෙල්ලෙක්. අවුරුදු එකොළහක්, දොලහක් වයස ඇති ඈට. ඈ මොකද්දෝ දෙයක් ගැන හරි උනන්දුවෙන් කතාකරන බව පේනවා. ඇගේ තාත්තා සැරින් සැරේ ඈ අසන දේවල් වලට පිළිතුරු දෙන හැටිත් මට පේනවා. ඔවුන්ගෙ කතාව අහන් ඉන්න ආසාවක් මට එනවා.
'අනුන්ගෙ කතා අහන් ඉන්න එක කැත පුරුද්දක්!' කියලා මට දැන් බනින්නෙපා. ඒ කෙල්ල කතාකරන විදිය හරිම හුරතල්. ඉතින් මම ඔවුන්ගෙ ආසන්නයට ඇවිදන් යනවා.