Monday, February 17, 2014

ගබ්සාව නීතිගත කළ යුතුද? නැතිද?

මා මේ ලියන්නට යන ලිපිය හිතක් පපුවක් නැති ලිපියක් වීමට ඉඩ ඇත.  සුචරිතවාදීන් හා ඊනියා අවිහිංසාවාදීන් මෙය කියවීමෙන් වළකින්න.

වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ පවතින නීති බොහොමයක් යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයින් විසින් නිර්මාණය කළ නීතිම වේ. බොහොමයක් නීති කාලයට හා සමාජයට නොගැලපෙනවා වුවද ඒවා වෙනස්කිරීමේ සූදානමක් තවමත් බලධාරීන් සතුව නොමැත. බ්‍රිතාන්‍යය විසින් මෙම නීති තම රටේදී බොහෝ කලකට පෙර වෙනස් කළත් ශ්‍රී ලංකාවෙ තවමත් පවතින්නේ ඔවුන්ගේ වික්ටෝරියානු නීති පද්ධතියයි.


ලංකාවේ සමාජයේ පවතින අපරාධ ‍රැල්ල හා සෘජුවම සම්බන්ධ වන, වහා වෙනස් කළ යුතු නීති කොටස් දෙකක් මේ අතර පවතියි. එනම් දික්කසාද පිළිබඳ නීති හා ගබ්සාව පිළිබඳ නීති වේ.

ගබ්සාව නීති ගත කළ යුතුය යන මතයේ මම පසුවෙමි. මේ අදහස් කරන්නේ හෙන ගහන්නා වගේ ගබ්සාව නීති ගත කර ගබ්සා කිරීමේ මධ්‍යස්ථාන රට පුරා පිහි‍ටුවිය යුතු බව නොවේ. නමුත් යම් යම් සීමා සහිතව ගබ්සාව නීති ගත කළ යුතු බවට මම අදහස් කරමි.

පසුගිය වසර දහය තුල ලංකාවේ කාම අපරාධ ‍රැල්ලෙහි වර්ධනයක් දක්නට ලැබේ. වාර්ථා වලට අනුව සෑම මිනිත්තු 90කටම වරක් කාන්තාවක් දූෂණය වන බව පැවසේ. ඇතැම් 'සුචරිතවාදීන්ට' අනුව නම් මේ සඳහා කළ යුත්තේ කාන්තාවන්ට දිගට අඳින්නට පුරුදු කිරීමයි. කාන්තා දූෂණ වැළැක්වීමට පියවර ගැනීම හා දූෂකයන්ට දඬුවම් ලබාදීම නොවේ. කෙසේ හෝ මෙම කාම අපරාධ මගින් සැලකිය යුතු පිරිසක් කාන්තාවෝ හා දැරියෝ නිතිපතා ගර්භනීභාවයට පත්වේ. මෙයින් බොහෝ පිරිසක් අවුරුදු 18ට අඩුවීම කණගා‍ටුදායක කරුණකි. මේ සඳහා කුමක් කළයුතුද? පළමුවෙන් කළයුත්ත නම් කාන්තා දූෂණය වැළැක්වීමයි. දෙවැන්න? දූෂණයට ගොදුරු වී ගැබ්බර වන කාන්තාවන්ට හා දැරියන්ට ගබ්සා කරගැනීමට මං සලසා දීමයි.

ලංකාව තවමත් ඇතැම් මත අතින් ගල් යුගයේ සිටිනා රටකි. බොහෝ විට කාම අපරාධ වල දී වැරදිකරු ලෙස සමාජයේ වපර ඇස යොමුවන්නේ කාන්තාව වෙතටයි. ඇය දෙවරක් ගොදුර බවට පත්වේ. කාන්තාවකට අවිවාහකව දරුවන් සෑදිය හැකි පරිසරයක් ලංකාවෙ නොපවතී. ගබ්සාව නීති ගත නොකළ යුතුයි යන තර්කය ගෙනෙන බොහෝ සුචරිතවාදීන්ගේ හා ඊනියා අවිහිංසාවාදීන්ගේ තර්කයක් වන්නේ, භ්‍රෑණයට පන තිබෙන බැවින් ගබ්සාව මනුෂ්‍ය ඝාතනයක් බවයි. නමුත් ගැබ දරාසිටින කාන්තාවගේ, තරුණියගේ, දැරියගෙ මුළු ජීවිතයම ඒ නිසා අඳුරු වන බව ඔවුහු නොසිතති. ගැබ්ගත් විට ගැබ දරා සිටින්නේ, පෝෂණය කරන්නේ, සියලු අපහසුකම් විඳ දරාගන්නේ කාන්තාවයි. එය සිදුවීමට දායක වූ පුරුෂයා කිසිත් අපහසුතාවක්, වෙහෙසක් නොමැතිව සතුටින් ජීවත් වනවා වියහැකී. එම නිසා එය බිහිකරනවාද, ගබ්සා කරනවාද යන්න තීරණය කිරීමට ඉඩ දිය යුත්තේ එම කාන්තාවට මිස, ගබ්සාව මනුෂ්‍ය ඝාතනයකැයි මොරදෙන සුචරිතවාදීන්ට නොවේ යැයි සිතමි. තමාට අනවශ්‍ය, තමාගේ කැමැත්තකින් තොරව පිළිසිඳුනු ගැබක් දරා, එය පෝෂණය කිරීමට කාන්තාවකට බලකිරීම කෙතරම් මානුෂිකද, සුචරිතවාදීද කියා මේ පප්පලා නොසිතයි. එක්කෝ එය ගණනකට නොගෙන සිටියි. මොකද, කොයි දේ වුනත් පිරිමි ගැබ් ගන්නෙ නැහැනෙ! දූෂණය වීමකින් ගැබ් ගත් විට බොහෝවිටම කාන්තාවක් සිදුකරන්නේ නීති විරෝධී ගබ්සාවක් කරගැනීමට තැත් කිරීම හෝ සියදිවි හානිකරගැනීමයි. ගර්භනීව ජීවත් වුවහොත් ඇයට සිදුවන්නේ අපවාද කන්දරාවකට කර ගැසීමටයි. ඇයගේ ඉගෙනීම අතර මග නවතන්නට සිදුවේ. සමාජයෙන් එල්ලවන පීඩා වලින් ඈ මානසික රෝගියෙකු බවට පත්වේ. ඇතැම්විට ‍රැකියාව අත හැරීමට සිදුවේ. මතක තියාගත යුතු ප්‍රධානම කරුණ වන්නේ දරුවා හදාවඩාගැනීමට සිදුවන්නේ අවිවාහක මවට තනිවම බවයි. තනිව දරුවකු හදාවඩාගැනීම අපහසු බව තේරුම් ගැනීමට දරුවන් සිටිය යුතුම නැත. අවිවාහකව දරුවෙකු හදා වඩා නඩත්තු කිරීමට සිදුවනවා පමණක් නොව එම දරුවාද සමාජය ඉදිරියේ අවජාතකයෙකු බවට පත්වේ. සමාජයෙ පමණක් නොව, ඇතැම්විට, තමා වදයක් යැයි සිතන තම මවගේද විවිධාකාර අපයෝජන වලට දරුවා භාජනය වේ. නොදැනුවත්වම සමාජවිරෝධියෙකු බිහිවේ.

එමෙන්ම රෝගී හා විකෘති සහිත දරුවන්ද ගබ්සා කිරීම යෙහෙකි යැයි සලකමි. ඉපදී වැඩී සමාජයේ කිසිත් හවුහරනක් නැතිව අසරණ වනවාට වඩා ඉපදීමට පෙරම භ්‍රෑණයා ඉවත් කිරීම මානුෂිකය. මෙවැනි දරුවන් බිහිවූවිට බොහෝවිටම වැඩිකල් ජීවත් නොවන අතර විවිධාකාර භයානක ලෙඩ රෝග වලට ගොදුරුවීමද අනිවාර්යය. එමෙන්ම ඔවුන්ව නඩත්තු කිරීමටද දෙමාපියන්ට විශාල මුදලක් දැරීමට සිදුවන අතර යම් හෙයකින් අනාත වූ එවන් දරුවෙක් ළමා නිවාසයකට යැවුනු විට කැපකාර දෙමාපියන් යුවලක් විසින් එවැනි දරුවන් හදාවඩා ගැනීමට ගෙනයාමද විරලය. දරුවා සමාජයෙන් කොන් වන අතර විවිධාකර අපචාර ක්‍රියා වලට යොදවාගැනීමද සිදුවේ. එහෙයින් මෙවන් අවස්ථා වලදී ගබ්සාව සානුකම්පිත නැතිද?

කාන්තාවක් සැලසුම් නොකල ගැබ් ගැනීමකට ලක් වූ විට, ගබ්සාව නීතිගත කළා හෝ නැතා ඈ ගබ්සාවක් කරගැනීමට හෝ කරවාගැනීමට තැත්කරයි. අනාරක්ෂිත ගබ්සාවන් කරගැනීමට ගොස් මරණාසන්න වූ හා මරණයට පත්වූ කාන්තාවන් ගැන සෑම පළාතකින් ඇසීමට ලැබේ. එමනිසා කිසියම් පුද්ගලයෙකුගේ නිවසක අතහැරදැමූ කාමරයක අපිරිසිදු උපකරණ මගින් ගබ්සාවක් සිදුකරනවාට වඩා, පලපුරුදු වෛද්‍යවරු අතින් ශල්‍යාගරයක ගබ්සාවක් සිදුවීම යහපත්යැයි හඟිමි.  එසේම මෙම සියලු ගැටලු බලපාන්නේ දුප්පත් කාන්තාවන්ට පමණකි. පොහොසතුන් විදේශගතවී පහසුවෙන්ම ගබ්සාවක් කරගනී.

එනිසා මා සිතන්නේ ගබ්සාව පිළිබඳව සමාජ කතිකාවක් ඇරඹීමට මෙය කාලය බවයි. නමුත් මෙය ලංකාවයි. ගබ්සාව නීතිගත කිරීමා නීති ගෙන ආවිට පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් වනවා නිසැකයි. තමා දූෂණය වී ගැබ්ගත්තා හෝ නැතා, තමාගෙ කුස ඔත් ජීවියා ආබාධිත හෝ නැතා ඇතැම් අය ගබ්සා කරගැනීමට පෙළඹෙනු ඇත. මෙම නිසා රජයෙ දැඩි අධීක්ෂණය යටතේ මෙම නීති ගෙන ඒම කළ යුතු බව අදහස් කරමි.








17 comments:

  1. ගල් යුගයේ සිටින්නේ වෙන කිසිවෙකුත් නොව ඔබයි.ඊනියා බුද්ධිමය බවක් පෙන්වීමට ආගම් විරෝධී බවක් පෙන්වූවත් ඔබේ ලිපිවලින් ඔබ ඇමරිකානු නොවන සංස්කෘතික වටිනාකම් වලට එරෙහිවන ස්ත්‍රීවාදය ආගම ලෙස පිළිගන්නා කෙනෙක් බව ඔබේ ලිපි වලින් පෙනේ.ඔබේ අදහස් අලුත් ඒවා නොව 70 දශකයේ ස්ත්‍රීවාදීන් විසින් පට්ටා ගසන ලද ඒවායි.ඔබ වැන්නන් ඒවා මෙරට සමලිංගික විපක්ෂයට බද්ධ කිරීමට එහා කිසිවක් නොකරයි.ඔබ වැන්නන්ට අනුව කලලයට අයිතිවාසිකම් නැත.මාක්ස් එසේ කියා ඇත.ස්ත්‍රිය සමාජයෙන් වියුක්ත කර අධිනිශ්චය කිරීමක් තුල ඔබ වැනි ඊනියා මුග්ධ ආගමිකයන් පිරිසක් බිහිවී ඇත.

    ජේවීපී කාරයන් ගබ්සාව නීතිගත කිරීමට වචන උඩප්පරන්ගැසීමක් කළහ.එය නම් දරුවන් ලැබීමේ අයිතිය කාන්තාවන්ට දෙන බවයි.පවුල් ඒකකය අහෝසිකළ යුතුය යන එංගල්ස්ගේ ශුද්ධ වාක්‍ය අනුව යන ජේවීපීකම ට වඩා කිය යුතු දේ කෙළින් කියන ඔබේ ඍජු බව අගය කරමි.

    එහෙත් ඔබලාගේ යල්පැනගිය ස්ත්‍රීවාදය තුලින් එම රටවල ගබ්සාව හෝල්සේල් වී ඇත.තම දරුගැබ තම රැකියාවට උසස්වීමට බාධාවක් යැයි සිතූ සැනින් බටහිර ගැහැණු ගබ්සා කර ගනිති.මේ නිසාත් බාහිර කාන්තාවන් ස්ත්‍රීවාදය හරහා පුරුෂ විරෝධී මානසිකත්වයක් ඇතිකරීම නිසාත් බටහිර පවුල බිඳ වැටී ඇත.ස්ත්‍රිය පුරුෂකරනය වීමත් පුරුෂයා ස්ත්‍රීකරනය වීමත් යනු සමලිංගිකත්වයයි.

    ඔබලාගේ ධර්මයේ නවමු බවක් නැතිවා සේම එහි මානුෂික අබව්ක් හෝ ප්‍රගතිශීලී බවක් නැත.ලොව පුරාම මාක්ස්වාදයට.ලිබරල්වාදයට හා ස්ත්‍රීවාදයට එරෙහි ජනමතයක් වර්ධනය වේ.ස්ත්‍රීවාදී යක්ෂනියන්ගේ ප්‍රමුඛම ඉල්ලීමක් වන නූපන් දරුවන් මැරීම ගැන කරන සංවාදයකදී විශාල ප්‍රතිරෝධයක් ගොඩ නැගෙන්නේ එබැවිනි.

    නූපන් දරුවන් මැරීම (ගබ්සාව ) ගැන පමනක් නොව ඔබලා පෙනී සිටින යල්පැන ගිය මතවාදයේ නග්න බව උදෙසාම මේ කොමෙන්ටුව දැම්මෙමි.මාක්ස්වාදී දේශපාලනය පමනක් නොව කලා විචාරය ආදී සියල්ලන්ටම දුටු තැන පහර දෙන මතවාදී බලවේගයක් නොවීම අඩුපාඩුවකි.

    ReplyDelete
    Replies
    1. යකා ඉපදෙන්න ඉන්න උන් ගැන නෙමෙයි ඉපදිලා ඉන්න උන් ගැන කතාකරන්න .ඇමරිකා හරි චීන හරි නිවරදිනම් ප්‍රබවය සොයන්න එපා . යකා කැමතිද උබට' අවජතකයා ' නම්බු නාමය ලැබෙනවාට

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. යකා ලිපියේ අන්තර්ගතය හෝ ලිපියට මුල්වූ මාතෘකාව ගැන විවේචන නොකොට ලිපිය ලියන්නාව විවේචනය කර ඇති බවයි පෙනෙන්නේ. මාතෘකාව ගැන කතා කලොත් යම් සංවාදයක් ගෙන යන්න තිබ්බා :)

      Delete
    4. යකාට ඇත්තේ වෙන කිසිවක් නොව, ජේ.වී.පී විරෝධයක් සහ කාන්තා විරෝධයක් (භීතිකාවක්?) බව පේනවා. පුන පුනා ස්ත්‍රී වාදයක් ගැන කියන්නේතමන්ගේ පුරුෂාධිපත්‍යය නැතිවෙයි කියන බයෙන්ද මන්දා. යකා ලංකාවේ හිටියට වඩා අරාබියේ හිටියානම් වඩාත් ගැලපෙයි.

      Delete
  2. ලිපිය ගැන විවේචනයක් නොකර ලියපු කෙනාව විවේචනය කළා නොවෙයි.නමුත් ඔහු මේ ලිපිය ලියන්න හේතුවූ සමාජ දේශපාලනික සංදර්භය පෙන්වා දුන්නා.
    කැරලිකාරයා කියනවා යකාට ජේවීපී භීතිකාවක් තිබෙන බව කියනවා.යකා මාක්ස්වාදයට විරුද්ධ නිසා ඒ පදනමින් ජෙවීපීයටත් විරුද්ධයි.ඒක වෙනමම කතා කරන්න ඕන දෙයක්.
    යකාට කාන්තා භීතිකාවක් නැහැ.හැබැයි මෙතන අන්තවාදී ස්ත්‍රීවාදය පැහැදිලිකරන්න බැරිවීම මාක්ස්වාදයේ දරිද්‍රතාව පෙන්නුම් කරනවා.19 වැනි සියවසේ බිහිවූ මාක්ස්වාදයට අනුව පුරුෂයා පීඩකයා හා සූරාකන්නා වන අතර ස්ත්‍රිය පීඩිතයා හා ගොදුරයි.
    ඉතිහාසයේ කිසිම දේශපාලන පක්ෂයක් නොකළ ලෙසින් ජවිපෙ හෝල්සේල් ගබ්සාවක් යෝජනා කරන්නේ ඒ පදනමිනුයි.
    එංගල්ස් නමැත්තා කියා තිබෙනවා පවුල් ඒකකය අහෝසි කළ යුතු බව.හුඟක් වාමාංශිකයෝ කියා ගන්නා අය මාක්ස් නමැත්තාගේත් එංගල්ස් නමැත්තාගේත් ලියවිලි කියවා නෑ.ඔවුන් කියා ඇති දේ ශුද්ධ යැයි ලියා අදහනවා පමනයි.

    අනාගමික ජවිපෙ කිසිදිනක බලයට නෝන බව ඇත්තක්.එහෙත් මාක්ස්වාදීන්ට එරෙහිව නිසි මතවාදීමය අරගලයක් සෙසු ජනයා තවමත් කර නැහැ.මේ නරුමයන් අප රටත් චීඑන සෝවියට් සත්තු වත්තක් කරන්න හදනවා.ඔවුන්ගේ කටවල් වලින් පිටවන එකම එක දුෂ්ට වචනයකට පවා එරෙහිව මහා මේඝයක් සේ නැගී සිටිය යුතුයි.

    ස්ත්‍රී පුරුෂයන් අතර අන්‍යෝන්ය ප්‍රතිරෝධයක් ඇති කිරීම අපේ මානව හරයන්ට එරෙහිව යන්නක්.ජේවීපී නරුමයන්ගේ පෞද්ගලික ජීවිත කුමක් හෝ වේවා.අප රැකගත් සාරධර්ම,හරයන් තිබෙනවා

    ReplyDelete
    Replies
    1. යකා ගබ්සාව ගැන කතා කරද්දි "ගබ්සාව" ගැන කතා නොකර අනිත් හැම දේම ගැන කතා කරනවා වගේ. මේ ගැන මගේ අදහස් අන්තර්ගත ලිපියක් හැකි ඉක්මනින් ලියන්නම්. ඔබේ අදහස් එතන දක්වයි කියලා හිතනවා.

      Delete
    2. ගබ්සාව නීතිගත කරන්න යැයි කීම ස්ත්‍රීවාදයක්ද යකා? අන්තවාදයක්ද? සංස්කෘතිය හා සාරධර්ම මනුෂ්යත්වයට හා සාධාරනත්වයට ඉහලින් ගිය විට එම සාරධර්ම, හරයන් වල ඇති වටිනාකම කුමක්ද? මෙතන කතා කර ඇති මාතෘකාව වෙනුවට යකා විවිධ මාතෘකා ගනණාවක් ගැන කියලා තියෙනවා. යන්නෙ කොහෙද මල්ලෙ පොල් නේද යකා? :D

      Delete
  3. මම කාන්තාවක්. මම කිසිම දිනක කාගෙවත් අපයෝජයනයට හෝ බලහත්කාරකම් වලට ලක්වෙලා නෑ ලිංගිකව. මම ජීවත් වෙන්නේ බටහිර රටක.
    (ඒ වගේම මම සමාජ සේවිකාවක්)
    උඩින්ම අර ටික කීවේ මාව විවේචනය කරන්න ඉඩ තියෙන හින්දා.

    ගබ්සාව ගැන මගේ මතය අනිවාර්යෙන්ම නීතිගත කළයුතුයි කියන එක. ඒක පිලිගත් රෝහලක පිලිගත් දොස්තරවරු හරහා කෙරෙනවා අද තියෙන අනාරක්ශිත ක්‍රම හා අපරාද ලංකාවේ තියෙන එකක් නෑ. අනවශ්‍ය හෝ බලාපොරොත්තු රහිත ගැබ් ගැනීම් ඕනේම තැනක සාමාන්ය දේවල්. විවාහක අවිවාහක කියලා නෑ. දියුණු රටවල් වල ( ඕනේ තරම් වයස් බේදයකින් තොරව සමාජ/ ලිංගික අධ්‍යාපනය තියෙන නිදහස් බටහිර රටවලත්) මේ තත්වයන් තියෙනවා. පවුල් සැලසුම් ක්‍රම අසාර්ථක වෙන ඕනේ තරම් අවස්තා තියෙනවා.
    විශේසයෙන්ම අඩු ආදයාම්ලාභින්, එහෙම නැත්නම් ස්ථාවර සම්බන්දතා නැති කාන්තාවන්ට මේ සහනය දෙන එක බොහෝම වැදගත් වෙනවා. මා ජීවත්වන රටේ මාතෲ සායන ඔක්කොම රජයේ වියදමින් කරන්නේ. ඒ විතරක් නෙමෙයි ළමෙක් හදාගන්න අපහසු ආර්ථික රටාවක ඉන්නවා නම් ගබ්සාවට කලින් ඒ අයට රජයෙන්ම උදව් කරනවා. ඒත් ඕනෙම අවස්ථාවක නිද්ජහස් තීරණයක් අරන් ගබ්සාවක් නීත්‍යාණුකූලව කරගන්න මාස තුනක් ඇතුලතදි අවසර තියෙනවා. ( මේ රට කතෝලික රටක්.පල්ලියෙන් ගබ්සාව අනුමත කරන්නේ නෑ. ඒත් මේ අවස්ථාවෙදි පල්ලියට එහා ගිහින් රජයෙන් මේ පහසුකම සලසනවා. ඒක හින්දම වෙන්නැති මෙහේ අනවශ්‍ය දරු උපත්, ලිංගික අපචාර, බලහත්කාරකම්, වෙන්නේ නෑ විතරක් නෙමෙයි ප්ලෑන් නොකරපු ළමෙක් හදන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි ආර්ථික ප්‍රශ්න වලදි පිහිට වෙලා ළමෙක් හදාගන්න වටපිටාවකුත් තියෙන හින්දා ප්‍රශ්නයකුත් නෑ. නමුත් එහෙම නිදහස් ගබ්සාවක් තිබුනා කියලා හැම කාන්තාවම එහෙම ගබ්සා කරගන්නෙත් නෑ අවබෝධයෙන් ඒ දෙයට යොමුවීම වෙද්දි හැමදේම බැලන්ස් වෙනවා. ඒ වගේ තත්ත්වයක් ලංකාවෙත් තිබුනොත් (රජයේ ඔය නාස්ති කරන සල්ලි ටික එහෙම ආදයමක් නැති ළමයි හදන්න ඕනේ අයට උදව් කරන්නත් යම් යම් ප්‍රශ්න හින්දා ගබ්සාවක් ඕනේ අයට ඒ නිදහස දීලා රජයේ රෝහලකින්ම ගබ්සාව කරගන්න ඉඩ දෙන එකත් මම නම් හිතන්නේ අත්‍යාවශ්‍ය දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔබ බටහිර රටවල තත්වය ගැන කියනවා.කතෝලික පල්ලියේ බිදවැටීමෙන් පසු බටහිර ලෝකයේ විවිධ අන්තවාදී බලවේග ශක්තිමත් වුනා.පුරුෂ විරෝධී ස්ත්‍රීවාදීන් එවැනි පිරිසක්.ඔවුන් පවුල් ඒකකයට විරුද්ධයි.ඔවුන්ට අවශ්‍ය ලෙස ස්ත්‍රීන් පුරුෂකරනය කිරීමත් පුරුෂයන් ස්ත්‍රීකරනය කිරීමත් නිසා බටහිර ලෝකයේ සමලිංගිකත්වය ප්‍රධානම දෙයක් වුනා.බටහිර පවුල් වලින් බහුතරයක් තනි දෙමාපිය පවුල්.ඒ වගේම දරුවන් වැඩිපුරම ලබන්නේ විවාහයට පිටිනුයි.ලංකාවත් බටහිරකරනය වීම නිසා නීති විරෝධී ගබ්සා විශාල වශයෙන් සිදුවෙනවා.බටහිරින් ආධාර ලබල අන්තවාදී කාන්තා සංවිධ්ජාන වලට ගබ්සාව හෝල්සේල් ක්‍රමයට නීතිගත කරන්න අවශ්‍යයි.නමුත් මේ රටේ ආගමික බලවේග ශක්තිමත් නිසා ස්ත්‍රීවාදීන් වැනි අන්තවාදීන්ට තවම කරන්නට දෙයක් නැහැ.

      ඇත්තටම්,අ අනවශ්‍ය දරු උපත් වලක්වා ගැනීමයි කළ යුත්තේ.නමුත් ගබ්සාව ගබ්සාව යැයි කෑගසන අන්තවාදීන්ට අවශ්‍ය එය නොවෙයි.පුරුෂයන්ට,ප්වුල් ඒකකයට හා දරුවන්ට එරෙහි අන්තවාදී නරුම ස්ත්‍රීවාදී සටන් පාඨැයක් ලෙස එය ජයග්‍රහනය කරවන්නයි.ස්ත්‍රීවාදීන් ආගම හෙළාදකින්නේ එයත් පිරිමින්ගේ නිර්මාණැයක් යැයි කියමිනුයි.නීතිය ඔවුන්ට අවශ්‍යැ ලෙස වෙනස් කළ යුතු යැයි කියනවා.පිරිමින්ගේ ආගමට,පිරිමින්ගේ නීතියට,පිරිමින්ගේ සදාචාරයට එරෙහි වීමෙට තමයි අන්තවාදීන් ගබ්සාව ගබ්සාව ජ්කියා කෑගසන්නේ.විදේශීය මවු සංවිධාන වලින් ඒ සදහා ඩොලර් කුට්ටි ලැබෙනවා.

      මාස තුනක කලලය කියන්නේ බාහිර සංවේදනයන්ට හොඳින් ප්‍රතිචාර දැක්විය හැකි මට්ටමට වැඩුන ජීවිතයක්.ගබ්සා විරෝධී වාර්තා වැඩසටහනක මා දුටුවා සති දහතුනක කලලයක් ගබ්සා කරන විට තමන් වෙත එන අඩුවලින් බේරීමට දරන උත්සාහය.එය ඉතා අනුවේදනීයයි.ඒ වගේම ලොමු දැහැගැන්වෙන්නක්.

      ඔබ බටහිර රටවල් වර්නනා කරනවා.ඩ්‍රෝන යානා වලින් බෝම්බ දමා අසරණ දරුවන් මරන්නේත් ඉරාකය වනි රටවල යුරේනියම් වැනි අවි වලින් පහර දී ජාන විකෘතිතා පවා ඇති කරවන්නේත් ඔය කෲර බටහිරම තමයි.ඔවුන් තමන්ගේම කිරි දරුවන්ටවත් කිසිම අනුකම්පාවක් නැති බව ඔබේ කොමෙන්ට් එකෙන් ඔබ කියා සිටි එකට ස්තුතියි.

      Delete
  4. අතවරයකට ලක් වුන කෙනෙක්ගේ පැත්තෙන් බලද්දී නම් මට හිතෙනවා ගබ්සාව තියෙන එක ඒ කෙනාට කරන එක සාදාරණයක් කියලා.. ඒත් අද වෙන්නේ එහෙම අතවරයක් වුන කෙනෙක් රහසේම ඒ දරුවව හදනවා.. සිමාවල් පැනලා කැමැත්තෙන් ඉන්න පෙම්වතුන් ගබ්සාවන් කරනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දිනේෂ් මටත් එහෙම හිතෙන වෙලාවල් තිබෙනවා.ඒ වගේම ප්‍රශ්න එන කොට ඉපදුනාට වැඩිය හොඳයි එහෙම නොවුනානම් කියා හිතෙන වෙලාවල් තිබෙනවා.එහෙත් මෙතන මම කෲරත්වය ගැනයි කියන්නේ.මේ කෲරත්වයට පසුබිම්වූ දේශපාලනය ගැනත් කතා කරනවා.මිනීමරු මාක්ස්වාදී ජේවීපී කාරයන් ඔවුන්ගේ අපේ දැක්ම නම්වූ පොත් පිංචේ ගබ්සාව හෝල්සේල් ක්‍රමයට නීතිගත කිරීමට කළ යෝජනාවෙන් පසු ඒ ගැන සමාජයේ යම් කතිකාවතක් යළි ඇතිවී ඇති බව පේනවා

      Delete
    2. යකා පාරෙ යනකොට කවුරු හරි කෙනෙක් ඇවිත් පොඩි ළමයෙක්ව අතට දීල දුවනව. යකා මොකද කරන්නෙ. යකාට පුළුවන්ද ඒ ළමයව වඩාගෙන අවුරුද්දක් එක දිගට ඉන්න. යකාගෙ බිරිඳට කියන්න "මට බැහැ මේ ළමයව අතඅරින්න මේකත් ජීවිතයක්". යාළුවොත් එක්ක පාටි වල සෙට් වෙන්න. සිරීපාදෙ යන්න. හැබැයි ළමයවත් උස්සගෙන. රැකියාවට යන්න. ගිහින් දුවල පැනල වැඩ කරන්න.

      යකා බැඳල නැහැ කියල හිතමු. දැන් යකාගෙ මංගල්‍ය දවසටත් ළමයව උස්සගෙන මයි ඉන්න ඕනෙ. මොකද යකා කියන්නෙ.

      "මෙතන යකා වෙනුවට ගෑණියෙක්වයි, ළමය දීල දුවනව වෙනුවට දූෂණය කරනවයි, ළමය වෙනුවට දරු ගැබයි දැම්මම යකාට තේරෙයි ප්‍රායෝගික කතාව"

      Delete
  5. Nidahas AdahasFebruary 17, 2014 at 7:40 PM @

    ගබ්සාව ට පසුබිම් වූ දේශපාලනය ගැනයි කතා කරන්නේ.එයින් වියුක්තව කතා කරන්න බෑ.

    ManorathaFebruary 17, 2014 at 8:07 PM @

    ගබ්සාව නීතිගත කරන්න යැයි කීම ස්ත්‍රීවාදයක්ද යකා? අන්තවාදයක්ද? සංස්කෘතිය හා සාරධර්ම මනුෂ්යත්වයට හා සාධාරනත්වයට ඉහලින් ගිය විට එම සාරධර්ම, හරයන් වල ඇති වටිනාකම කුමක්ද? මෙතන කතා කර ඇති මාතෘකාව වෙනුවට යකා විවිධ මාතෘකා ගනණාවක් ගැන කියලා තියෙනවා. යන්නෙ කොහෙද මල්ලෙ පොල් නේද යකා? :D //

    ඒක ස්ත්‍රීවාදය තමයි.මම කතා කරන්නෙ මනුෂ්‍යත්වය ගැනයි.ඇත්තටම සම්ප්‍රදායන්ගෙන් නම් මටත් වැඩක් නැහැ.මම කෲරත්වය ප්‍රතික්ෂේප කරන කෙනෙක්.ස්ත්‍රීවාදීන් ගබ්සාව නීතිගත කරන්න මුට්ටිය දාල බලන්නේ වචන උඩප්පරන් ගසමිනුයි.
    විවිධ මාතෘකා ගැන කතා නොකර බැහැනෙ.මේ විශයට පසුබිම්වූ දේශපාලනයක් තිබෙනවා.හිරෝෂිමාවට පරමාණු බෝම්බ දැමූ කෲර බටහිරයා නූපන් දරුවන් මරන බව කීමෙන් එය සාධාරනීකරනය වෙන්නේ නෑ.

    මම සාරධර්ම වලට වඩා මනුෂ්‍යත්වය අගය කරන කෙනෙක්.ඔබ මනුෂ්‍යත්වය කියන්නෙ මොකටද කියා මට හිතා ගන්න බැහැ.

    තව දෙයක් අපේ චින්තනය අපේ පරිසරයේ නිර්මාණයක්.ඉන් වියුක්ත නැහැ.ඉතින් බටහිර මාක්ස්වාදීන් හා බටහිර ලිබරල්වාදීන් උත්සාහ දරන්නේ ඔවුන්ට අවශ්‍ය ආකාරයේ වටපිටාවක් හදන්නයි.එහිදී අපට අපේ සියළු උරුමයන්,ආගම් කැප කරන්න වෙනවා.ඒක වෙනම කතාවක්.මෙතන නම් මම කීවෙ තනිකරම මේ අපරාධයේ කුරිරු බවයි.

    ReplyDelete
  6. තමන් දකින හැම 'වැරැද්දටම' හේතුව මාක්ස්වාදය හරි ස්ත්‍රීවාදය හිතනකොට, ලෝකයේ හැමදේම ජිජැක් හරි ලැකාන් හරි කියපු දේවල් වලින් විග්‍රහ කරන්න හදන සමහර වාමාංශිකයන්ට වඩා වෙනස් නෑ යකා. යකා වගේ කට්ටියගේ තියන ලොකුම වැරැද්දක් තමයි, මොකක් හරි ප්‍රශ්නයක් ගැන කතා කරන්න යනකොට, ඒ ප්‍රශ්න ගැන ඔහුට සාපේක්ෂව 'වැරැදි' ප්‍රවේශයක් ගත්ත පිරිසව විවේචනය කිරීමට ගොස්, ඇත්තටම තියන ප්‍රශ්නය මග හැරීම.

    මාක්ස්වාදයට ඇති විරෝධතාවය සමග ජවිපෙ විවේචනය කරනකොට, ජවිපෙට සංවිධානයක් විදිහට මේ රටේ දශක දෙකක් ඇතුලත තරුණ කැරලි දෙකක්ම මෙහෙයවන්න බලපාන සමාජ ආර්ථික ප්‍රශ්න මග හැරෙනවා. ඒ වගේම දැන් ස්ත්‍රීවාදීන් ගබ්සාවට පක්ෂ වූ පමණින්, ගබ්සාව ගැන කතාබහ කරන සියලුම දෙනාට ස්ත්‍රීවාදී ලේබල් අලවමින් සිටින ඔහුට එය සමාජයේ කතාබහ කලයුතු ප්‍රශ්නයක් බව මග හැරෙනවා. ස්ත්‍රීවාදීන් ගබ්සාව වෙනුවෙන් සහ වෙනත් කාණ්ඩ ගබ්සාවට විරුද්ධව කෑගහන්නේ එහෙම සමාජ ප්‍රශ්නයක් තියන නිසා බව අමතක වෙනවා.

    ඔය ස්ත්‍රීවාදය, මාක්ස්වාදය සියළුම දේ අත ඇරියත්, අනපේක්ෂිත ගැබ්ගැනීම කියන ප්‍රශ්නේ බොහොම පරණ එකක්. අපේ රටේ පැරණිම සාහිත්‍ය කලා සොයාගෙන ගියත් විවාහයට පෙර කාන්තාවක් ගැබ්ගැනීම කියන ප්‍රශ්නය නිතර සාකච්ඡා වෙනවා. මෙය හැමවිටම වලක්වන්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා අනවශ්‍ය විදිහට ගැබ් ගත්තොත් මොකද කරන්නේ කියන සාධාරණ වලංගු ප්‍රශ්නය අප ඉදිරියේ තියනවා. මාක්ස්වාදය, ස්ත්‍රීවාදය ලෝකෙන් තුරන් කල දාකටත් මේ ප්‍රශ්නේ අදාලයි.

    දැනට මගේ පෞද්ගලික මතය, සෞඛ්‍යමය කාරණා මත සහ සීමිත මානසික කාරණා මත, පිළිගත් වෘත්තිකයින්ගේ නිර්දේශ උඩ ගබ්සාව නීතිගත කිරීම සුදුසු බවයි. නමුත් මෙතැනදි මනුෂ්‍යත්වය පිළිබඳ කාරණා කීපයක් සමග ගැටුම් ඇතිවෙනවා. ගබ්සාව පිළිබඳ තියන ලොකුම ප්‍රශ්නය තමයි මේ මානුෂීය වටිනාකම් පිළිබඳ මූලික සංකල්ප පිළිබඳ ගැටුම. යම් මනුෂ්‍ය ප්‍රාණියෙක් බිහිවීමට නියමිත කලලය අපි මනුෂ්‍ය ජීවිතයක් ලෙස සලකනවාද? එසේ සලකනවා නම් ඒ ජීවිතය පිළිබඳ තීරණයක් ගැනීමට අපට අයිතියක් තිබේද? මෙවැනි තත්වයක් ගැන සිතා බලන්න. ඔබ යම් හෙයකින් ගබ්සාවක් කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී දරුවා ලැබෙනවා. ඒ දරුවා දිහා බලලා ඔබට හිත හදා ගැනීමට පුළුවන්ද, මේ ජීවිතය තමයි මම වැලැක්වීමට උත්සාහ කලේ කියලා?

    හැමවෙලාවෙම බටහිර බටහිර කියලා කෑගහන බොහෝ දෙනෙක් අමතක කරන කාරණාවක් තමයි, ගබ්සාව නීතිගත කලත්, ගබ්සා අවම කරගැනීම සඳහා එම රට වල කොතරම් පහසුකම් සපයනවද කියන එක. විවාහ නොවූ සහ ස්ථිර සහකරුවෙක් නැති අවිවාහක මව්වරුන්ට දරුවන් නඩත්තුවට දීමනාවක් ලැබෙනවා. ඔවුන්ට වෛද්‍ය රක්ෂණ, බෙහෙත්හේත් සඳහා සහන සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ලැබෙනවා. දරුවන් නඩත්තුවට දෙමාපියන්ගෙන් කෙනෙක් ගෙදර නවතිනවානම් ඒ පවුල් වලට ඉහත කී සහන ලැබෙනවා. පවුලක දරුවන් ගණන වැඩි වන විට දරුවන් වෙනුවෙන් ගෙවීම් වැඩිවෙනවා. දරුවෙකු ලැබෙන්නට යන විට ලැබෙන වෛද්‍ය පහසුකම් සහ උපදෙස් ඉතා ඉහලයි. මානසික උපදේශන සේවාවන් තියනවා. මව්කිරි දීමට උනන්දු කරවනවා. ලැබෙන්න ඉන්න දරුවෙකුට පියෙක් නැති වුණත්, කාන්තාවකට තනියෙන් උවත් දරුවෙක් හදාගන්න පුළුවන් පරිසරයක් ඇති කරලා, තමයි ඔවුන් අවසාන විසඳුම ලෙස ගබ්සාවට ඉඩ දෙන්නේ. එයත් වෛද්‍ය සහ මානසික කාරණා වලට අදාල නම් පමණයි.

    උපත් පාලන සැත්කම් වලටත් හාමුදුරුවරු ඇවිත් විරුද්ධවෙච්ච අපේ රටේ ගබ්සාව ගැන කුමන කතාද කියලා හිතෙනවා. නමුත් රට වටේම නීතිවිරෝධී ගබ්සා කරන තැන්. කැම්පස් යන අය දන්නවා ඇතිනේ සමහර කැම්පස් ඇතුලේ ශිෂ්‍යාවක් ගැබ් ගත්තොත් කැම්පස් ඇතුලෙම ගබ්සා පහසුකම් තියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න ඕනේ උනේ මේකමයි ඒත් අපි දෙන්නගේ සිංහල වෙනස් හින්දා මට තිසර වගේ ඒක එලියට දෙන්න බැරි වුනා.
      යකා කියලා දේ නම් මට පොඩ්ඩක්වත් තේරුනේ නෑ.

      Delete
    2. මම දෙන්න ගිය පිළිතුර තිසර දී තිබෙනවා.

      මචං යකා, එක්කො ඔබ ඔවුන්ගේ ළමයි බලාගන්න ඕනෙ. නැත්නම් ඒ වෙනුවෙන් කළ හැකි වෙන යම් විසඳුමක් යෝජනා කරන්න ඕනෙ. දූෂකයන්ගෙ ලිංගඡේදනය ගැන මොකද කියන්නෙ? :D

      Delete