Saturday, February 1, 2014

"ඔය තරම් පොඩි වයසෙන් මහණ වෙන්න ලැබිච්ච එක කොච්චර පිනක්ද?" "ඇහ්??!?"

ලංකාවෙ තරම් දේශපාලන අරමුණු සඳහා කුඩා දරුවන් විකුණාගෙන කන රටක් මම මීට පෙර දැක නැත. ලංකාවෙ දේශපාලකයින්ට, ළමාරක්ශණ අධිකාරියට ළමයින් මතක්වෙන්නේ එක්කෝ ඡන්දයක් ලඟ ඇති විටය. නැත්නම් ළමා දිනේටය. රට වටේ ඇවිදින ආඩම්බරකාර තාත්තලා හා සමාගම ළමයින්ව වඩාගෙන උන්ගේ අම්මලාවත් සිපගැනීමෙන් මුළු රටටම ළමා හා කාන්තා ප්‍රශ්න අමතක කරවනු ලබයි. "අනේ.. දැක්කද එතුමාලා ළමයි ගැන කොච්චර හිතනවද කියලා?"

අද මේ ලියන්නට යන්නේ ඒ පිළිබඳව නොවේ. නමුත් ඒ හා ළඟින් යන සිදුවීමක් ගැන යැයි කිව හැක.


ගමේ පන්සලේ කුඩා දරුවන් සත්දෙනෙකු මහණ කරවනු ලැබුවේ ගිය සතියේය. ඒ දැක බලාගැනීම පිණිස ගිය ආච්චි අම්මලා නම් කිවුවේ, "ඔය තරම් පොඩි වයසෙන් මහණ වෙන්න ලැබිච්ච එක කොච්චර පිනක් ද? පතාගෙන ආපු හැටි වෙන්නැති" කියාය. මට එසේ නොහිතෙන්නේ පෙර කළ කුමන පවකටදැයි මම නොදනිමි.

මම කුඩා කළ සිටම හැදී වැඩුනේ බෞද්ධ පරිසරයක වුවත්, මගේ මව හෝ පියා කෙදිනකවත් ඔවුන්ගේ මතවාද හෝ සිරිත් විරිත් මට පොවන්නට තැත්කළේ නැත. මට ඉගැන්වූයේ ප්‍රශ්න කරන්නටය. එබැවින් මම ප්‍රශ්න කරමි. ළමා මහණකරනය බෞද්ධ පිළිවෙතක්ද?

කුඩා දරුවන් මහණ කරන්නැයි බුදුරජාණන් වහන්සේ කිසි කලෙක දේශනා කර නැත. උන්වහන්සේ එසේ කළ අවස්ථා ඇත්තේද අතලොස්සකි. ඒ ද නොකරම බැරි අවස්ථා වලය. සුනීත, සෝපාක හා රාහුල මහණ කලේ වෙනත් විකල්පයක් නොමැති අවස්ථා වලය.  එසේම වෙනත් විකල්පයක් නොමැති අවස්ථාවල ගත් මෙවැනි පියවර බුදුරදුන් ළමා මහණකරනය අනුදැන වදාල බවට සාක්ෂි නොසපයයි.

සෑම දරුවෙකුට ළමාවියක් තිබිය යුතුය. තම දෙමාපියන්, නෑසියන් අතරේ, සමවයස් ළමුන් කාණ්ඩ හා කෙලිදෙලෙන් ගතකිරීමට, පෞරුශයකින් තව ජීවිතය ගොඩනගාගැනීමට කුඩා දරුවෙකුට කාලයක් තිබිය යුතුය. එම කාලය ආගමික ස්ථානයකට කො‍ටුකර, දරුවාට ළමාවිය සිපිරි ගෙයක් කිරීම අනුමත කළ නොහැක්කකි. සෙල්ලම් කිරීමට නොහැකිව සුසුම් හෙලන දරුවාට කිසිදිනෙක එම අඩුපාඩුව පිරිමසා ගත හැකිද?

එසේම කුඩා දරුවන් මහණ කිරීමෙන් ශාසනයට වන යහපතක් නම් නැත. ශාසනය පෝෂණය කිරීමට තරම් වැඩුනු නුවණක් ඔවුනට නැතුවා මෙන්ම අනිකෙකුට බුද්ධියෙන් යමක් පහදාදීමට තරම් සමාජමය දැනුමක්ද ඔවුනට නැති නිසාවෙනි.

ඒ එක කතාවකි. අනෙක් කතාව වන්නේ මෙම කුඩා දරුවන්ට සිදුවන ලිංගික හා නොයෙකුත් ආකාරයේ හිංසන විදිය. කුඩා දරුවකු තම නිවසේ සිටියදී ඔවුනට ලිංගික හිංසන වීමට ඉඩකඩ නැතුවා නොවේ. නමුත් පිරිමින් පමණක් සිටිනා සමාජයක් තුල කො‍ටුවූ විට එම අවධානම ඉහළ යන බව පමණක් අදහස් කරමි. එසේම ලංකාවේ සෑම හිමිනමක්ම ළමා අපචාරකයින් යැයි නොපවසමි.  නමුත් අවිවාහක, වැඩිහිටි පිරිමින් සිටිනා සමාජයක එවැනි අවධානමක් දකිමි. පන්සලේ ලොකු හාමුදුරුවන්ට බයෙන් පන්සල එහාපැත්තේ වෙල් එලියේ ක්‍රිකට් ගසනා ළමුන් දෙස ආශාවෙන් හා ඊර්ෂ්‍යාවෙන් බලාසිටින කුඩා දැසක් වරක් අනුරාධපුර ගිය කලෙක දුටිමි. ඒ දැස පන්සල දෙසට හැරුනු විට, 'මේ මාගෙ ළමාකල උදුරාගත් ස්ථානයයි' නොසිතනු ඇත්ද? මෙම ගැටලුව පවතින්නේ බෞද්ධයින් අතරම පමණක් නොවේ. කිතුනු සෙමනේරි වලටද බඳවාගන්නේ කුඩා දරුවන්ය. නමුත් ඔවුන්ව ඔවුන්ගේ ළමා ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරනු නොලැබෙයි. ඔවුනට සාමාන්‍ය මට්ටමක නිදහසක් ඇත.

තම දරුවා පන්සලට බාරදෙන බොහෝ දෙනා අහිංසක ගැමියන්ය. පඩිපෙල වාගේ සිටිනා දරු රොත්තෙන් එකෙක් හෝ වෙන කොහෙන්හෝ පෝෂණය වෙනවානම් ඔවුනට එය සහනයක් නිසාවෙනි. අපේ හණමිටි අදහස් දරන අවිචාරශීලී උන්දැලාද මේ මිනිසුන්ගේ ඔලුවට ඔබවන්නේ, "හතර වරිගෙම නිවන් යන පිනක් මේ!" කියාය. හතර වරිගෙම නිවන් යෑම කෙසේ වෙතත් පුනරුත්පත්තියක් ඇත්නම් අපායේ ඉපදීමට තරම් පවකි මෙය!  ඔබම සොයා බලන්න, පන්සල් පිරී ඇත්තේ එවැනි දුප්පත් අහිංසක දරුවන්ගෙන් හා හතර කේන්දරේ පාළු 'කාලකන්නින්ගෙන්' නොවේද කියා? දේශය හා ද්වීපය ගැන පම්පෝරි ගසනා එක උගතෙක්වත් තමන්ගේ දරුවෙක් යුධ හමුධාවට හෝ ශාසනයට බාරදී ඇත්ද?

වර්තමානයේදී කුඩා දරුවන් මහණ කරන්නේ තවත් අධිශ්ඨානයන්ද ඇතුවය. එක්කෝ තමන්වහන්සේ අපවත් වූ පසු ලේ නෑයෙක්ට පන්සල බාරදීමටය. නැතිනම් 'පර හම්බයින්ට' හමනන්නටය. හමුදාවට සොල්දාදුවන් බඳවා ගැනීමේ හෝ මේ ළමා මහණකරනයේ වෙනසක් නම් නැත. තමන්ගේ ජාතිවාදී අදහස් ඔලුවලට ඔබනු වස්, තවත් බෞද්ධ තලේබාන් පරපුරක් බිහිකරණු වස් මහණ කරනවා මිසෙක ශාසනයට ආදරයෙකින් කරනා මහණ කිරීමක් නොවේ මෙය. සිල්වත් හිමිවරුන්ගෙන් මෙම ශාසනයට කමක් නැත. අවශ්‍ය වන්නේ ගහනකොට ගැහීමට හැකි, මරනකොට මැරීමට හැකි නාන උන්නාන්සෙලාය. කුඩා කල සිට මොළ සේදූ විට මෙවැනි පරපුරක් සාදාගැනීම ඉතා පහසුය. එවිට සිංහලයාගේ හා බුදුන්ගේ දේශයේ අනාගතය ගැන සිතා සිත සාදාගැනීමට හැක. "අපි නැතත් අපේ පොඩි උන්නන්සෙලා හම්බයින්ට, දෙමළුන්ට ඇට්ටි හැලෙන්න දෙන්නැතෑ!"




12 comments:

  1. පන්සල් වල අත දරුවෝ මහණ කොර ගන්නේ වෙන මක්කටවත් නෙමෙයි. ආවතේව වැඩවලටයි, ලිංගික අපයෝජනය කරන්නයි. එහෙම හොයා ගන්න නැත්නම් දුප්පත් පවුල් වල ළමයි තෝර ගන්නවා ඇබිත්ත කමට. ඒකේ පරමාරථයත් අරකමයි. ළෝකේ එකම ආගමකවත් නෑ මේ වගේ ළමා අපචාර.

    ඔය මහණ වෙන ඇබිත්තකම් කරන එක දරුවෙක් ඉන්නවද ආර්ථික අතින් ශක්තිමත් පවුල් වල අය. නෑ.... එකෙක්වත් නෑ.. මේවා ගැන කතා කරණ එකත් ළොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක නෑ.ගෑනුත් එක්කනේ නිදන්න හොද නැත්තේ.
      ෆොටෝ එක කොහෙන්ද බං?සුපිරි ෆොටෝ එකක්.

      Delete
  2. මාතලං කියනවා ඇහිලයි ආවේ..

    ඔව් ඔය කියපු කාරණා හුගක් ඇත්ත ඒ වගේම නායක හාමුදුරුවරු කොහොම හරි තමන්ගේ නෑ කෙනෙක් මහණ කරගන්න උත්සාහ කරනවා ඒ මොකටවත් නෙමෙයි තමන්ගේ දේපල පිට කෙනෙක් අතට යන එක වලක්වන්න. මේ ළගදි අපේ පන්සලේ නායක හාමුදරුවෝ අපවත් උනාම ගෝලය විදියට හිටියේ පිට ගමකින් ආපු කෙනෙක්. හාමුදුරුවන්ගේ නෑ සනුහරේම අර හාමුරුවන් එළවල ඒ අයගේ කෙනෙක් පන්සලට ගේන්න පොරකෑවා.

    කොහොම කිව්වත් ශාසනේට බාර වෙන්නේ වැඩි හරියක් අසරණ මිනිස්සුන්ගේ දරුවන් තමා. “අනේ මේකා පන්සලේ බත් ටික ගිල ගිල හරි ඉදීවි“ නේ කියලා..

    ReplyDelete
    Replies
    1. 'පිරිත් නූල් බඳිමින් ජන සතුරන්ට..
      යතුරු කැරළි අඳනය යට ගසාගෙන...
      අපවත් වෙන්ට පෙර සහලේ ඥාතිවරූ
      මහණ කරන එකදැයි මුණි බනේ අනේ..'

      Delete
  3. ලංකාවේ eka eka නාලිකාවල යන බණ වැඩ සටහන් වලිනුත් නිතරම ඇහෙනවා දරුවන් වැඩිපුර ඉන්න අගහිග කම් ඇති පවුල් වලට උදවු කරන ගමන් දරුවන් සසුන් ගත කරන්න ඕන කියල.
    දැන් මේක රැල්ල වෙලා වාගේ.
    කොහොම වුනත්.....
    >> "අපි නැතත් අපේ පොඩි උන්නන්සෙලා හම්බයින්ට, දෙමළුන්ට ඇට්ටි හැලෙන්න දෙන්නැතෑ!" <<
    ඕක තමා යටි අදහස ,,,, ඒ ගනින්නාන්සේලා ගෙ.

    ReplyDelete
  4. මේ කතාව අද ඇත්ත කතාවක් බවට පත්වෙලා මේ ලිපිය ඉතා වැදගත්. අපි අපේ කම ගැන කතා කරන්නේ නැතිව වෙන දෙයක් හදන්න යන එක නවත්තන්න මෙක හොද මග පෙනවිමක් අද සමා පරිසර තුල අහන්න ලැබෙන දෙවල් වල හැටියට ආගම දහම පිළිබද අවබෝදයෙන් ඒ වෙනුවෙන් කැප වෙන අය සීමිතයි .අද යන මග ජේබ් එකකට යනවා වගේ වැඩක් නිවනක් හොයනවා නෙවේ පංසලක් හොයනවා ජිවත් වෙන්න .ඇත්ත කතාව ඒකයි නඩු කියමින් පන්සල් වල උපසක උපාසිකාවන් අසමගී කරමින් ිවත් වන සංඝ සමාජ පසුබිමේ මුල් අවදිය මෙම සංකල්පයයි .මාතලං කියන කතාව ඇත්ත හොද ලිපියක් http://suvisariya.blogspot.com/2014/01/blog-post.html මමත් මේ මෙම කතාවට සමාන දෙයක් මෙහෙ කිව්වා

    ReplyDelete
  5. මෙතෙක් කල් මහණ වුනු සෑම දරුවෙක්ම මහණ වෙලා තියෙන්නෙ බලෙන් නොවෙයි. නමුත් දැන් 'trend' එක වෙලා තියෙන්නෙ නම් ඒකයි. සිල්වත් හිමිවරු ඉන්නවා. නමුත් මචං නානසරෙලයි වැඩ තමයි දැන් බහුලව දකින්න තියෙන්නෙ.

    ReplyDelete
  6. මේ වගේ දේවලට නම් නඩු දාන්න ඕනේ. වගකිවයුතු මිනිස්සු නෙමෙයිද මේවගේ දේවලට කැමැත්ත දෙන්නේ. අපේ සංස්කෘතිය ආගම කියලා මේ වගේ වැඩ වලට විරුද්ද නොවෙන එක නම් මහ විහිළුවක්. ඒ වගේමයි අර ගමටම ඇහෙන්න මහ හයියෙන් උදේ පාන්දර ඉඳන් පිරිත් දාන එක. මම අද දැක්කා මැජිස්ට්‍රේට් කෙනෙක් පැමිණිල්ලක් දාලා එක පන්සලක ඒක අයින් කරලා කියලා. ඒ වගේ හැමෝම මේ වගේ ව්‍යසන පිටු දකිනවා නම් යහපතක්ම වේවි. ( මේක බෞද්ධකම සම්බන්ද කතාවක් නෙමෙයි සබ්ද දූශණය සමාජයට මහ කරදරයක්.)

    ReplyDelete
  7. වාසනාව යුද්ධයේදී සේම මෙහිදීද බිල්ලට දෙන්නේ මෙරට ඉතාම දුප්පත් පංතියට අයත් දෙමාපියන්ගේ දරුවන් වීමය. ධනවත් හෝ අඩු තරමින් මධ්‍යම පාංතික දෙමාපියන්ගේ දරුවෝ යුදයට සේම පැවිදිබිමටද නොයති. ඔවුන් වෛද්‍යවරුන්, පරිගණක ඉංජිනේරුවන්, නීතිඥයන්, බ්ලොග් ලියන්නන් වෙද්දී දුප්පත්කම හිසින් දරාගත් ගැමි දරුවන්ට අවි දරා රණ බිමට ගොස් මරණයට හා අතපය අහිමි වීමටද, සිවුරුදරා පන්සලට ගොස් ළමා කාලය අහිමි කොට ගෙන ලිංගික අතවර වලට ලක්වීමටද සිදුව ඇත. මේ අර වරප්‍රසාද ලත් ධනවත් හෝ මධ්‍යම පාංතික දරුවන්ගේ දෙමාපියන්ගේ දේශපාලන අරමුණු ඉටු කිරීමටය. කොටින් කිව්වොත් ජාතිය ගැන මහඉහළින් කෑගහන එකම ‘විද්වතකු’ වත් තම දරුවකු හමුදාවට හෝ ශාසනයට භාරදී නැත.

    READ MORE

    අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination

    ReplyDelete
    Replies
    1. //මේ අර වරප්‍රසාද ලත් ධනවත් හෝ මධ්‍යම පාංතික දරුවන්ගේ දෙමාපියන්ගේ දේශපාලන අරමුණු ඉටු කිරීමටය. කොටින් කිව්වොත් ජාතිය ගැන මහඉහළින් කෑගහන එකම ‘විද්වතකු’ වත් තම දරුවකු හමුදාවට හෝ ශාසනයට භාරදී නැත.//

      So true.

      Delete
  8. කුඩා දරුවන් මහණ කරවීම කොතරම් අයුක්ති සහගත ක්‍රියාවක් දැයි සුන්දර ළමා කාලයක් ගෙව් කවුරුත් සිතා බැලිය යුතුය. මෙවන් දරුවන් ශාසනය තුල රැඳී සිටින්නේද යමක් කමක් තේරෙන කාලය එන තෙක් පමණය. මව් සෙනෙහස පිය සෙනෙහස අහිමීවීම තරම් තවත් දුකක් දරුවෙකුට ඇද්ද? ආගම දහම ඉගෙන්වීම මිසක් ඒ තුල බැඳ තබා ගැනීම කොතරම් සදාචාර සම්පන්නද? ඔවුන්ම ලමා හිංසනය ගැනත් තවත් නොයෙකුත් දේ ගැනත් ගිරිය පුප්පා කෑගැසීම නම් හිරිකිතය.

    ReplyDelete
  9. (Y) නියම අදහස. රෙස්පෙක්ට් යු

    ReplyDelete