Tuesday, November 26, 2013

"රකින්නට බුදු දහම : සිවුරු හොරු, හෙන්චයියලා හා ආච්චිලා"



අවවාදයයි:
පහ වසරේ උනුත් දන්නා යම් යම් වචන ඔබ නොදන්නවා නම්, හෝ ඒවා කියවා මළ පනිනවා නම් මෙය කියවීමෙන් වළකින්න.


***


හරි. දැන් මේකයි කතාව. ඔය එක එක උන් කියනවනේ බුදු දහම රකින්න නම් කරන්න ඕනේ දේවල්. වැඩිපුර ළමයි හදපල්ල කියයි, හම්බ කඩ වර්ජනේ කරපල්ල කියයි, ඒවට යන උන්ට බිත්තර ගහපල්ල කියයි. රටේ නැති විකාර නෙ. දැන් මම මේ කියන්න යන්නෙ බුදු දහම රකින්න නම් කරන්න ඕනෙයි කියල මට හිතෙන දේ.

මට තේරෙන හැටියට නම්, බුදු දහම නැතිවේගෙන යන්න හේතු වෙච්ච කොට්ටාශ තුනක් ඉන්නව.

1. සිවුරු හොරු
2. උන්ගේ හෙන්චයියල
3. අතිශය ශ්‍රද්ධාවෙන් පෙළෙන උපාසක අම්මල

දැන් මොකද්ද මේකේ තේරුම? අපි එකින් එක අරන් බලමු.

කවුද මේ සිවුරු හොරු? ඔය ගොඩක් සේනාවලට මුල් වෙලා ඉන්නෙ මේ ඇත්තො තමයි. රට, ජාතිය, ආගම බේරගන්න එක ගැන තවුසන්ඩ් ටෝක්ස්. ඒ උනාට රෑට රෑට කන පාත්වෙන්න ගහල, වාහන එලවල මාට්ටු වෙනව. ටීවී ඉන්ටර්විව් එකකට ගෙන්නල ඒ ගැන ඇහුවම රටේ නැති බයිල ගහනව. තමන්ට විරුද්ධ වෙන උන්ට තර්ජනය කරනව. කොටින්ම කිව්වොත්, සිල් රකින එකයි හාමුදුරුවන්ට කැප දේයි හැර, හාමුදුරුවන්ට අකැප හැම රෙද්දම කරනව.

අනේ සොරි, මට අමතක උනා. ඊයේ පෙරේද ඔය සිරිකොතට ගහන්න ගියෙත් මේ වගෙ වහන්සේල තමයි.

සිවුරු හොරුන්ගෙ තවත් ප්‍රභේදයක් තමයි, දේශපාලනේ කරන්න ගේමට බැහැල ඉන්න සමහර උන්නාන්සේල. මේ කියන්නෙ හැම හාමුදුරුවොම ගැන නෙමෙයි. රට හදන්න අවංකවම උත්සහ කරන හාමුදුරුවොත් ඉන්නව. ඒත් ගොඩක් ඉන්නෙ, කොහෙන් හරි ලොකු පන්සලකුයි, ප්‍රාඩෝ / බෙන්ස් එකකුයි, ලොකු පට්ටමකුයි ගන්න දඟලන අය. ලොකු එවුන් මොන කෙහෙල්මල කළත් කමක් නෑ, ගොට්ටක් අල්ලගෙන ගියාම හොඳ ලොකු හැන්දකින් බෙදාගන්න පුලුවන්නෙ. එතනින් එහාට ලෝකයක් මේගොල්ලන්ට නෑ.

ළමා අපචාර කරන, ඉඳල හිටල බඩුවක් දෙකක් ගහන උන්නාන්සේල ගැනත් අපිට ඔය නිව්ස් වලින් එහෙම හිටිගමන් ඇහෙන්නෙ. හෙනටම බිස්නස් කරන, කෝටි ගනන් සල්ලි බැංකුවෙ දාගෙන තමන්ට ඕනෙ ඕනෙ විදිහට ජීවත් වෙන, සාසනේට, බුදු දහමට අබ ඇටයක තරම් දෙයක් කරන්නෙ නැති මුනුත් සිවුරු හොරු තමයි. මම දන්න පන්සලක මේ වගෙ හාමුදුරු කෙනෙක් ඉන්නව. ලොකු ලොරි, ටිපර් පහ හයක් තියෙනව. වැලි බිස්නස් කරන්නෙ. නගරෙ මැද ගෙයක් තියෙනව තට්ටු දෙකේ, කුලියට දීල. මාසෙකට අඩුමගානෙ ලක්ෂයක් වත්.

හාමුදුරුවන්ට සල්ලි ඕනෙ නෑනේ. ඒගොල්ලො ඉන්නෙ සැප විඳින්න නෙමෙයි. තමන් බුදු වෙලා ඉන්නෙ කියාගෙන අමුතු ආතල් දෙන්නත් නෙමෙයි. ඒගොල්ලො අත්හැරීම මුල් කරගෙන නිවන් මාර්ගයේ යන අය. බුදු දහම රකින්න, ඉස්සරහට පවත්වගෙන යන්න, ගිහියන්ට යහපත් ජීවිත ගතකරන්න උපදෙස් දෙන්න.. ඒවා තමයි ඒගොල්ලො කළ යුතු දේ. හරිහමන් හාමුදුරුවරු නැතුව දහමයි සාසනෙයි රකින්න හිතන එක හරියන වැඩක් නෙමෙයි.

දෙවෙනි කොටස තමයි මෙහෙව් උන්නාන්සලගෙ හෙන්චයියල. ඔය බුකිය පුරාවටම ඉන්නෙ හැම ලබ්බකටම අලි එකෙන් ගේම ඉල්ලන උන්? ඒ මේ වගෙ අය තමයි. දුටු ගැමුණු රජ්ජුරුවො වගෙ කතාව. ඒත් හොයල බැලුවොත්, යන්තං අට පාස් වෙච්ච උන්. මුන් හිතාගෙන ඉන්නෙ මුන් ඉපදිලා තියෙන්නෙම ආගම රකින්න කියල. හැබැයි කරන්නෙ ආගමට උපරිමේටම නිග්‍රහ කරන එක.
(අතුරු කතාවක් ඕනෙ නං මෙතන ක්ලික් කරන්න)

මේ වගෙ අයගේ කටේ හැමතිස්සෙම තියෙන එකක් තමයි “මේ අපේ රටේ යකෝ! මේක සිංහලයගේ රට. මේකෙ ඉන්න පුළුවන් සිංහල බෞද්ධයින්ට විතරයි! හම්බයො පල අරාබියට!”

හැබැයි මෙහෙම දෙයක් තියෙනව. මේක ලියන මම පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි, මේ රටේ හැම ජාතියකම, ආගමකම මිනිස්සුන්ට කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනෙ කියන එක. ඔව්, මේක සිංහල බෞද්ධ රටක් තමයි. ඒක නිසා තමයි හැම එකාටම නිදහසේ ඉන්න පුළුවන් කම තිබුණෙ මෙච්චර කල්. නියම සිංහල බෞද්ධය අනිත් එකාව මරන්න හදන එකෙක් නෙමෙයි. අනිත් එකාගේ අයිතීන් වලට ගරු කරන එකෙක්. “අරාබියෙ එහෙම නෑ”, “මුස්ලිම් රටවල අනිත් උන්ට තමන්ගෙ ආගම අදහගෙන ඉන්න බෑ”, “උන් එහෙම නං අපිත් එහෙමයි”.. මේ කතා එකක්වත් අදාළ නෑ. සිංහල බෞද්ධයො අරාබියෙයි, ඇෆ්ගනිස්තානෙයි ඉන්න තිරිසනුන් ගානට වැටෙන්න ඕනෙද?

මේක කියවන උඹත් හිතන්නෙ මේ රට අපිට විතරයි කියලනං, උඹට වැරදිලා මචං.

මං මේ කියන්නෙ බුදු දහම යකාට පල කියල නෙමෙයි. අපි හැමෝටම එකට ඉන්න ඕනෙ නං බුදු දහම අත්‍යවශ්‍ය බවයි. බුදු දහම එක්ක තදින්ම මිශ්‍ර වෙච්ච සංස්කෘතිය තමයි අපිට සහයෝගයෙන් ඉන්න හැටි කියල දෙන්නෙ. අනිත් එකාගේ ආගමට, ජාතියට ගරු කරන්න කියල දෙන්නෙ. ඒක නිසයි අපි මේක රැකගන්න ඕනෙ. හැබැයි උඹල රැකගන්න යන විදිහ තමයි වැරදි.

තුන්වෙනි කොටස තමයි “අතිශය ශ්‍රද්ධාවෙන් පෙළෙන” උපාසක අම්මල. මෙලෝ සිහියක් නැතුව පන්සල් පන්සල් ගානෙ යනව. යන යන හැමතැනම අනුන්ටම වාතයක් වෙනව. කොහේ හරි ගියාම කවුරු හරි ආච්චි කෙනෙක් ඇවිත් හැමෝවම තල්ලු කරගෙන, කඩාගෙන බිඳගෙන යනව දැකල තියෙනවද? බස් එකකට නැග්ගම ඒ වගෙ ආච්චිලව දැකල තියෙනවද? පන්සලකට ගියාම අනිත් අයටත් ගාථා කියන්න බැරිවෙන තරං මහා සද්දෙට, පොත් දොළහක් විතර පෙරලගෙන, ගාථා කියන ආච්චිලා දැකල තියෙනවද? උත්තරේ ඔව් නං, ඔබ මේ වගෙ අයව දැකල තියෙනව.

අර කතාවකුත් තියෙන්නෙ.. ආච්චි කෙනෙක් පන්සලක මිදුල අතුගගා ඉන්නවලු. පන්සලේ හාමුදුරුවෝ එතනින් වඩිනවලු. ආච්චි දුවගෙන ගිහින් ඉදල හාමුදුරුවන්ගෙ ඇඟට හේත්තු කරල, උන්වහන්සේට වඳිනවලු.

මමත් සෑහෙන කාලයක හිතන් හිටියේ මේවා බොරු කතා කියල. ඒත් පන්සලකට එහෙම ගිහිල්ලම බලන්න ඕනෙ තරම. අපේ ගෙදර ඉඳන් මහා දුරක් නෑ බෙල්ලන්විල පන්සලට. මම පන්සල් යන්න ආස කෙනෙක් උනත්, බෙල්ලන්විල පන්සලට යන්න එච්චර කැමැත්තක් නෑ. පන්සලේ කිසිම වැරද්දකට නෙමෙයි. ඒක ඔය ආච්චිලගෙන් පිරිල නිසා. වතුර කළයක් අරගෙන බෝධිය වටේ යනකොට, ආච්චිලා ඇවිත් තල්ලු කරගෙන, අනිත් උන්ව පාස් කරගෙන දුවනව, උන්ට කලින් බෝධියට වතුර දාන්න. ඉඩ තියෙන තැනක් බලල මල් පූජා කරන්නෙ නැතුව, වෙන කෙනෙක් මල් පූජා කරල තියෙන තැනක, ඒ මල් ටික පැත්තකට විසි කරල තමන්ගෙ මල් ටික තියනව. ඉතිං ඕවා දකිනකොට මට මළ පනිනව. පන්සල් ගියාට වැඩක් නෑ. මං ඒ ලෙවල් විභාගෙ ලියපු සති දෙක තුනේ, විභාගෙ තිබ්බ හැම දවසකම මගෙ අම්මයි තාත්තයි බෙල්ලන්විල පන්සල් ගියා. පැන් පූජා කරන්න අරන් ගිය පුංචි කෝප්ප දෙකේ සෙට් තුනක් ගන්න උනා ඒ දවස් ටිකට. පූජා කරල, ටිකක් පස්සට ගිහින් ආයෙත් බෝධිය පැත්තට හැරෙනකොට ආච්චිල පැන් ටික විසිකරනව කෝප්ප ටික ගන්න.

ඔහොම කරන බුද්ධ වන්දනාවෙන් වැඩක් නැති බව ඔය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ප්‍රඥාවට වඩා ශ්‍රද්ධාව ලොකු වෙලා. සිල් ගන්න ආපු ආච්චිල ලෝවාමහාපාය ළඟ ඉඩ බෙදාගන්න බැරුව ගහ බැන ගන්නවත් මම දැකල තියෙනව. ඔහොම අය ඉන්නකොට කොහොමද සාසනේ ආරක්ෂා කරන්නෙ?


හාමුදුරුවරු අකැප දේ නොකර, කළ යුතු දේ කරන්න ගත්ත කාලෙක, තමන්ගෙ ධනය, සැප වැඩිකරන්න නෙමෙයි, අත්හැරීම පුරුදු කරන්න ගත්ත කාලෙක, පල්ලි කඩන්න නෙමෙයි, පන්සල් දියුණු කරන්න ගත්ත කාලෙක, බුදු දහම රකින්න පුළුවන් වේවි.

බෞද්ධයෝ කියල කියාගන්න, “ජාතියේ පිනට පහල වූ පුතුන්”ට මොළේ පෑදුන දවසක, දෙමළටයි, තම්බියටයි වෛර නොකර ගරු කරන්න ඉගෙන ගත්ත දවසක, තම්බි කඩ වර්ජනේ කරන්න නෙමෙයි, හාමුදුරුවන්ට පන්සල් දියුණු කරන්න උදව් දෙන්න පටන් ගත්ත දවසක, බුදු දහම රකින්න පුළුවන් වේවි.


ආච්චිල ගැන නං ඉතිං කියන්න දෙයක් නෑ. හැබැයි දැන් මැදිවියේ උදවිය ශ්‍රද්ධාවයි, ප්‍රඥාවයි හරියට බැලන්ස් කරගෙන හිටියොත් අනාගතේදී අතිශය ශ්‍රද්ධාවෙන් පෙළෙන ආච්චිල ගණන අඩු වේවි. එහෙම උනොත් බුදු දහම රකින්න එයත් ලොකු පහසුවක් වේවි.






5 comments:

  1. හොඳ වෙනස්ම අදහස් තියෙන ලිපියක්. කැමතියි ඔබේ අදහස් වලට.. සහ එකඟයි.. හැබැයි මචු අපි ජාතික ද්‍රෝහියෝ ලෙස ලේබල් වෙයි ද දන්නේ නැහැ..

    මමත් මේ ලඟදි දවසක අහම්බෙන් වගේ බෝඩිමේ ඉද්දි ලොකු අම්මා කවි බණක් තිබ්බ පොතක් ගෙනත් දුන්නා පුතා කියවන්න කියලා.. :)
    තිබ්බේ මචං කොසොල් රජ්ජුරුවෝ දැකපු සොළොස් මහා සිහින. මම ඒ බුද්ධ දේශනාවෙන් වර්තමාන ලෝකය අපුරුවට දැක්ක. ඔය දේවල් වෙනස් වෙන්නේ නැහැ මචං.. තව තවත් සංවර්ධනය වෙනවා මිසක්. ඊට වඩා අපි සභ්‍යත්වයෙන් ජීවත් වෙන එක හොඳයි..

    ReplyDelete
  2. එකෙන්ම..උඹ ඔය කියල තියෙන කතාවට මම 100% ක්ම එකඟයි...කාලයක් මාත් මේ දේවල් ගැන කතා කලා..එත් අපේ මිනිස්සු කවදාවත් කියන දෙයක් අහන්න කැමති නෑ නේ..සහ කියන්නේ මොනවද කියල බුද්ධිමත්ව හිතන්නවත් තේරෙන් නෑ..බුද්ධිමත් මිනිස්සු හිටියනම් අපේ රටට මෙහෙම වෙන්නෙත් නෑ..සන්තෝසයි උඹ වගේ පොරක් හම්බුනා එක ගැන..

    ReplyDelete
  3. ඕක තමයි ඇත්ත, ඒත් ගොඩක් උන් කතා කරන්න බයයි. අද තියෙන්නේ බුද්ධාගමක් නෙමෙයි, බිස්නස් එකක්, බඩ ගෝස්තරේ හොයාගැනීමක්, ඉස්ටයිල් එකක්.

    ReplyDelete
  4. ගොඩක් අයට කියාගන්න ඕනේ නමුත් කියාගන්න බැරි දේවල් ගොඩක් නියමෙටම කියලා තියනවා! ආඩම්බරයි! මෙන්න නියම බෞද්ධයෝ! :) මේ තියන තත්වේ හැටියට මේ මිනිස්සුන්ව වෙනස් කරන්න අමාරුයි හැබැයි මොලේ තියන එකෙක් හරි මේක කියවලා වෙනස් වෙනවා නම් එච්චරයි! Job well done.

    ReplyDelete
  5. තනිකරම ප්‍රෝඩාවක්. ඩ්‍රයිවින් ලයිසනුත් ඉල්ලනවා. පාරට බස් දාන්න වෙන්නැති. මේ තියෙන්නේ ශ්‍රද්ධාව කටින් බේරෙන හැටි
    http://kirula.us/jp-video.html#sthash.g7ZfZjG4.dpbs

    ReplyDelete