Wednesday, November 20, 2013

කොළඹ කාක්කො සහ අපේ මිනිස්සුන්ගෙ ඇනලොග් මානසිකත්වය.

"කාක් කාක්! මල්ලී ඇප්ලිකේස්න් පෝම්ද? පොටෝද? කාක් කාක් කාක්! ඕක පුරෝගන්න නේද මල්ලී? එන්ඩ මේ පැත්තෙන්! කාක් කාක්!"

පුංචි බොරැල්ලෙ පාස්පෝට් ඔෆිස් පැත්තට අපි ගියේ ඇත්තටම රට යන්න බලා ගෙන නෙවෙයි. නිකං වෙනස් වෙන කොළඹ වටේ රස්තියාදු පාරක් දාන්න.
(රස්තියාදු කිව්වහම ඕං වැරදි විඳිහට හිතන්න එපා)

"බලපන් උඹ මාව ඇදං ආපු අපාය! යකෝ කොටුව හොඳයි ඕයි මේ කාක් කූඩුවට වඩා."
මාත් එක්ක මේ ගමන ආපු මගෙ යාළුවා මට කියනවා.
"උඹේ අහවල් එකෙන් ඇදන් ආවෙ නැහැනෙ මම. ආව නං කම්ප්ලේන් නොකර ඉන්නවා."
මිනිහගෙ කථාවෙත් පොඩි ඇත්තක් තියෙනවා. අපි බොරැල්ලට එනකොට හවස එකහමාරයි. ඉස්කෝල ඇරලා. ආනන්දෙ, නාලන්දෙ, සංඝමිත්තාවෙ, රත්නාවලියෙ කොල්ලො කෙල්ලො පාර පුරා. ගිනි කාස්ඨක අව්ව ගණන් නොගෙන සූට් කෝට්, සරං, සාරි පොරෝගත්ත ගෑණු මිනිස්සු එහෙ මෙහෙ දුවනවා.
ඒ අස්සෙන් අපිට ඇහෙන්නෙම කොළඹ කාක්කන්ගේ අඳෝනාවයි.
අඳෝනාව. 

ඒ වචනේ එතන්ට ඇත්ත්ටම සුදුසුද?

මොනවා හරි තිබහා යන්න බොනවයි කියලා හිතාගෙන අපි ඇතුළු වුනා සයිවර් කඩේකට.
සයිවර් එකේ එච්චර කට්ටිය නැහැ. දවල් කෑම ගන්න කියල ආපු හිඟන්නො ටිකක් විතරයි ඇතුලෙ.
අපිත් ෆැන්ටා බඩී දෙකක් අරං පුටුවල වාඩි වුනා. අව්වට කරවෙලා හිටිය මට මේක නිකං අමෘතෙ වගේ.

"මචං, උඹ හිතන්නෙ ඇයි කාක්කො, කාක්කො වෙන්න නීරණය කළේ කියල?"

අනේ ඇත්තටම මෙච්චර අව්වෙ රත් වෙලා ඇවිත්, ෆෑන් එකක් යට මේ ගඳ ගහන සයිවර් එකේ ඉඳගෙන පොඩ්ඩක් පාඩුවෙ ඉන්ඩ දෙන්නෙ නැති හැටි මූ. අපරාදෙ මූට එන්ඩ කිව්වෙ.

"මං දන්නෙ නැහැ. උඹම කියපංකො අහපු එකේ."

"විරැකියාව! විරැකියාව තමා කාක්කොන්ව, කාක්කො කරලා  තියෙන්නෙ."

මොන කුණුහරුපයක්ද ඒ? මිනිහටම විස්තර කරන්න ඉඩ ඇරලා මම බලං හිටියා.

"බලපං දැන්. ළමයි පණ කඩාගෙන ඉස්කෝලෙ යනව නේද? ඉස්කෝලෙ ගිහින් O/L පාස් වෙනවා. ඊට පස්සෙ A/L කරනවා. ඒක කරලා පාස් වෙන එවුන් කැම්පස් ගිහින් තව ඉගෙන ගන්නවා. ඒ ගොනත් දැක්කුවැයින් පස්සෙ රස්සාවක් හොයන්න ගියහම රස්සාවල් නැහැ.
අවුරුදු 30 විතර හක්කයි බොක්කයි ඉරාගෙන ඉගෙන ගත්තට පස්සෙ හිතෙනව මොන කාලකන්නිකමක්ද මේ කියල."

මිනිහට දැන්නං දෙක පැටලිලා කියල මටනං ෂුවර්.
"ඔය ඕන තරං ඉගෙනගත්තු එවුන් රස්සාවල් කරන්නෙ!"

"ඇත්ත. ඒත් ඉගෙනගත්තු ගොඩක් එවුන්ට අද රස්සාවල් නැහැ නේද?"

"එතකොට උඹ කියන්නෙ රස්සාවල් කරන්නෙ ඉගෙන්ගත්තෙ නැති එවුන් කියලද?"

"නැහැ. ඉගෙන ගත්තෙ නැති එවුන්ට රස්සාවක් ගැන බය වෙන්න ගොඩක් කල් යනවා. උන්ට ඊට පස්සෙ අතට එන ඕන රස්සාවක් කරනවා.
අර ඉගෙන ගත්තු එවුනුත් එහෙමයි. තමන් කැමති රස්සාවල් වල පුරප්පාඩු නැතැයි කියල දැන ගත්තම, උනුත් එක්ස්පීරියන්ස් ගන්න කියල ඕන තුප්පහි වැඩක් කරන්න පුරුදු වෙනවා.
උඹට පේනවද? විරැකියාවට ප්‍රධාන හේතුව රටේ බල්ලට ගිය මේ අධ්‍යාපන ක්‍රමයයි, ණය උඩ හති දදා දුවන ආර්ථිකයයි, අපේ මිනිස්සුන්ගෙ ඇනලොග් මානසිකත්වයයි. හිතපං. හැම දේම ඩිජිටල් වෙද්දි අපේ මිනිස්සු තාමත් මඩේ හිටෝපු ඉනි වගේ"

"හ්ම්. ඉතිං උඹම කියපන්කො මේකට මොකද කරන්නෙ? මිනිස්සු කාක්කො වෙන එක නවත්තන්නෙ කොහොමද?"

"අර මොකොටද ඒක නවත්තන්නෙ? මෝඩ වෙන්න එපා මිනිහෝ. හැම එකාටම රස්සාවල් ලැබුනහම, හැම එකාම කෝටිපතියෙක් වුනහම හිතා ගන්න පුළුවන්ද රටක ට වෙන දේ? හැම ගොන් හරක ම රජෙක් වුනොත් පාලන බලය යන්නෙ කා අතට ද?"

සැම රජ වීම, අරාජකත්වයට කිරුළු පැළදවීමකි.

මිනිහා කිව්ව කථාවට මට කට උත්තරත් නැහැ. මම බාගෙට ඉවර වෙලා තියෙන ෆැන්ටා එක බීලා ඉවර කරන්න ගත්තා.

4 comments:

  1. patta hari machan.

    ReplyDelete
    Replies
    1. මිනිහා හරි නිසාමනෙ, නිර්නාමික මං කට වහං හිටියේ :)

      Delete
  2. /////සැම රජ වීම, අරාජකත්වයට කිරුළු පැළදවීමකි.//////
    ඔව්.....එක රජෙක් වෙනුවට හත්මුතු පරම්පරාවම රජවරු වගේ හැසිරෙන්න ගියාම ලෙඩේ තමයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ වර්ථමාන තත්ත්වෙ නේ? හත්මුතු පරම්පරාවම සාටක පොරෝගෙන, ඔය ටොකු ඇන ඇන ඉන්නේ.

      Delete