“අද ගොඩක් සෙනග හිටියද පුතේ?”
ගෙදර හියහම එයාගේ අම්ම අහනව ඇති.
“ඔව්.. අද නං වෙනදට වඩා ටිකක් හොඳයි”
එයා කියයි.
හ්ම්ම්.. නෑ..
සමහර විට දෙබස ඔයිට වඩා ටිකක් වෙනස් වෙයිද දන්නෙ නෑ.
“පුතේ, ඔන්න මම
කෑම පිඟානක් බෙදල තියල ඇති. කාල නිදාගනින්, මහන්සිත් ඇතිනෙ”
එහෙම නැත්තං,
***
අනේ මන්ද. මට
නං හිතාගන්න බෑ. ඔබට පුලුවන්ද?
බස් එකක
කොන්දොස්තර කෙනෙක් රෑට ගෙදර ගියහම ඇතිවෙන දෙබස?
අවුරුදු 26 ක,
27 ක විතර එකෙක්..
මං බස් එකට
නැග්ගෙ තිඹිරිගස්යායෙන්, පන්ති ඇරිල ගෙදර යන්න. හවස හය හමාරට විතර වෙන්න ඇති. හත
විතර වෙනකොට බස් එකේ වැඩිය සෙනග නෑ. මම පිටිපස්සෙ දොර ළඟ, දකුණු පැත්තෙ සීට් එකක
වාඩිවෙලා ඉන්නව. බස් එකත් කෙළගෙන යනව. කොන්දොස්තර අයිය මගෙ සීට් එකට සීට් දෙකක්
විතර ඉස්සරහින් තියෙන හිස් සීට් එකක ඉඳගන්නව. ඉඳගන්නවද වැටෙනවද මන්ද. මං දැන්
මිනිහ දිහා බලාගෙන ඉන්නෙ. ශටර් එක සම්පූර්ණයෙන්ම අරින එයා හොඳ හුස්මක් ගන්නව.
“පට්ට මහන්සියි
මල්ලි” එයා මට කියනව.
“වෙනදට ටර්න්
තුනයි අදින්නෙ. අද ටර්න් හතරක් ඇද්ද”
එහෙනං ඩ්‍රයිවර්ට
කොච්චර මහන්සි ඇත්ද?
මමත් ඔලුව වනල
හිනාවෙනව.
“අයිය ගොඩ
කාලෙක ඉඳන් මේකද කරන්නෙ?”
එයා ටිකක් වෙලා
කල්පනා කරනව.
“මම A/L ලිව්වෙ දෙදාස් පහේ හරි හයේ හරි. වැඩක් උනේ නෑ. ඊට පස්සෙ ඉඳන් මේ ජොබ් එක
තමයි.. මල්ලි පන්ති ගිහින් එනවද? A/L පන්තිද?”
“පන්ති නං
තමයි, හැබැයි A/L පන්ති නෙමෙයි”
“මොනව හරි කමක්
නෑ මල්ලියෙ ඉගෙන ගනින්. මේ යන විදිහට ගියොත් ඉගෙනගෙන නැති උන්ට මුකුත් නැති වෙනව”
මට නිකං
පොල්ලෙන් ගැහුව වගෙ. A/L ෆේල් වෙච්ච කොන්දොස්තර කෙනෙක් ඔහොම කතාවක් කියයි කියල මම
කවදාවත් හිතුවෙ නෑ.
“ඇයි අයිය එහෙම
කිව්වෙ?”
“නෑ නිකං හිතල බලන්න.
වරාය කියයි, එයාපෝර්ට් කියයි, අධිවේගී මාර්ග කියයි, ඒවා හින්ද රට දියුණු වෙලා
කියයි. ඒත් අනේ මන්ද, අපිට නං තඹ සතේක හොඳක් නෑ, නරකක් මිසක්. ඒ මදිවට චෝගම්!”
දැන් නං මට
කොයිල්. තව ටිකකින් මූ මට ආර්ථික විද්‍යාවෙන් දෙයිද දන්නෙ නෑ.
ඒ එක්කම වගෙ
ඈතින් සද්දයක් ඇහෙනව. සයිරන් සද්දයක්.
ඇම්බියුලන්ස්
එකක්.
ඒක අපිව පාස්
කරල යනවත් එක්කම මට පේනව කොන්දොස්තර අයිය ඇස් දෙක පියාගෙන, යාඥ්ඥා කරනවද කොහෙද. යාඥ්ඥාව
ඉවරවෙලා එයා ආපහු මා දිහා බලනව.
“පොඩි
පුරුද්දක්” එයා මට කියනව.
“මම පොඩිකාලේ
අම්ම එක්ක පොළට යනකොට ඇම්බියුලන්ස් එකක් අපිව පහු කරගෙන ගියා. මමත් පොඩි කමට ‘බීයූ
බීයූ’ කියන්න පටන් ගත්ත. එතකොට අම්ම කියපු එක තාමත් මට මතකයි”
“පුතේ, ඔය
වාහනේ ඇතුළේ ඉන්නෙ ජීවිතේ බේරගන්න දඟලන මිනිහෙක්. ඔය වාහනේ එළවන්නේ ඒ මිනිහගෙ
ජීවිතේ බේරගන්න දඟලන තවත් මිනිස්සු ටිකක්. ඒකට හිනාවෙන්න එපා”
මට මගෙ අම්මව
මතක් උනා. එයත් මට ඔය ටිකම වෙන වචන ටිකකින් කියල තියෙනව. ඒ මිනිස්සු කරන සටන
විහිලුවකට ගන්න එපා කියල.
මේ ඔක්කොම
වෙන්න මහලොකු වෙලාවක් යන්නෙ නෑ. ඕනෙනං විනාඩි පහළොවක් විතර.. මං බහින තැන ලං වෙනව.
මං නැගිටල අයියට ඔලුව වනාගෙන ඉස්සරහට යනව. ඔය මම මේ බ්ලොග් සටහනේ මුලින්ම දාල
තියෙන්නෙ, එයා එයාගෙ කතාව කියාගෙන යන අතරේ මට හිතුන දෙයක්. ඇයි එහෙම වෙන්නෙ කියල
මං දන්නෙ නෑ, හැබැයි මං මොකක් හරි ගැන හිතන්න ගත්තම මහා විකාර දේවල් හිතෙන තරං
දුරට හිත යනව. නැත්තං කොන්දොස්තර කෙනෙක් ගෙදර ගියාම ඇතිවෙන සංවාද ගැන මෙලෝ
මිනිහෙකුට හිතෙනවද..
හැබැයි මං බස්
එකෙන් බහිද්දී, ඒ දෙබස කොහොම වෙයිද කියන එකට මට පුංචි උත්තරයක් ලැබිල තියෙන්නෙ.
“ආ! ආවද? එහෙනං
අර බෙදල තියෙන ටික කාල නිදාගනින්!”
එයාගෙ අම්ම වෙන
මොකක් කිව්වත්, ඕක නං කියන්නේ නැති බව මට සහතිකයි. මොකද ඒකට හේතුව, ඇම්බියුලන්ස්
කතාව ඇතුළේ තියෙන නිසා.
දැන් මේ පෝස්ට්
එක කියෙව්ව කියල ඔබට වෙච්ච සෙතක් නං මම දන්නෙ නෑ. මේකත් ඉමක් නොපෙනෙන ජීවිත ගමනේ තවත්
එක් අත්දැකීමක් විතරයි. සමහර විට මට ආයෙත් ඒ කොන්දොස්තර අයියව මුණගැහෙයි. සමහර විට
ඒ වගෙ දවසක එයා යන බස් එකක මම කොන්දොස්තර වෙලා ඉඳියිද දන්නෙ නෑ. හැබැයි මම ඔබට
මෙහෙම කියන්නම්. හැම කොන්දොස්තරම නරක නෑ. ඔබ, මම හිතනවාට වඩා මිනිසුන් හරිම පුදුමාකාරයි.
"නැත්තං කොන්දොස්තර කෙනෙක් ගෙදර ගියාම ඇතිවෙන සංවාද ගැන මෙලෝ මිනිහෙකුට හිතෙනවද.."
ReplyDeleteඑහෙම හිතන්න පුළුවන් එක ගැන සන්තෝස වෙයන්! :)
ඇත්ත.. ඒක ගොඩක් උදව් වෙනව මිනිස්සුන්ට සාමාන්‍යයෙන් මඟහැරෙන දේවල් අහුල ගන්න :)
Deleteඕනෑම මිනිසෙකුට ඔහුගේම කියා දර්ශනයක්,මතවාදයක්,කතාවක් ඇත.
ReplyDeleteඅපි එය බ්ලොග්වල කොටමු.සමහරු පත්තරවල,පොත්වල,ටීවී එකේ කියවති.නැතහොත් මුන ගැසෙන අසන්නෙක්ට කියති.
බැරිම එකාලා තමාගේ ලෙස අනුන්ගේ එකක් දෙසා බාති.
ශිෂ්ටාචාරයේ මුල පටන්ම අප වටහාගැනීමට උත්සාහ කරන්නේ එය වුවද තවමත් සාර්ථක වී නැත.
www.amuthusithuwili.wordpress.com
රස්සාව මොක උනත් මිනිහෙකුට තවත් කෙනෙක්ගේ ජීවිතය දිහා නිවැරදිව බලන්න පුලුවන් එක ලොකු දෙයක්.
ReplyDeleteදවස් දෙකක් විතරම මේ පේජ් එක ඕපන් කරගෙන හිටියා. ඒ තරමට මට මේ කතාව කම්ප්ලෙක්ස් වුනා.
ReplyDeleteකෙනෙක්ගේ රැකියාව මත මිනිසුන්ව ඩෙෆයින් කරන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම පෞද්ගලිකව දැකපු කොන්දොස්තරලා ඉන්නවා ඒ ලෙවල් වලට බී 3ක් තිබ්බ. මම මේක විශ්වාස කලේ නෑ. ඒත් එයාගේ සී වී එකක් මගේ මේසෙට ආවාම විශ්වාස කරන්න වුනා.
ඔව් එහෙම අයත් ඕනේ තරම් ඇති. උපාධිධාරීන්ටත් රස්සාවල් නැති රටේ, මේ වගේ අය ගැන කුමන කතාද? හොර මැරකම් වලට සෙට් වෙන්නෙ නැතුව මෙහෙම දෙයක් හරි කරගෙන ජීවිතේ ගැටගහගන්න හදන මිනිස්සු බොහොමයි.
Deleteඔබ, මම හිතනවාට වඩා මිනිසුන් හරිම පුදුමාකාරයි.
මේ කතාව කියවගෙන යද්දි අතීත සිඩුවීමක් මතක් වුණා.
ReplyDeleteසයිරන් සද්දෙකුත් එක්ක වේගයෙන් ආපු ඇම්බියුලන්ස් එකක්, රෝහල ඉදිපිට කහ ඉර, කිසිත් නොදැක්ක වගේ අපූරුවට හෙමින් හෙමින් පාර මාරුවුනු ලස්සන අක්ක කෙනෙක්, ඒ දිහා බලාගෙන හිටිය මම...
මිනිස්සු හරිම පුදුමාකාරයි තමයි.
ඇත්තටම ඇම්බියුලන්ස් එකකට ඉඩ නොදෙන්න තරම් අසංවේදී මිනිස්සු මොකට ජීවත් වෙනවද කියලත් වෙලාවකට හිතෙනව :/
Delete