Wednesday, December 11, 2013

"මොනවා බල බල ඉන්නද ඩෝ..ව්? වරෙන් ඩෝ..ව් ඩර්මෙ ‍රැකගන්න යන්න!"

'මේ කල්පයේදී පහළවන අවසාන බුදුන්වහන්සේ වන මෛත්‍රී බුදුන්වහන්සේගේ ශාසනයේ සාමාජිකත්වය හිමිකරගැනීමට ඔබ කැමතිද? අග්‍රශ්‍රාවකයෙක් වීමට පෙරුම් පුරනවාද? එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්! එන්න, අප හා එක්ව පෙරුම් පුරන්න!'

ඔහොම leaflet එකක්, පුවත්පත් දැන්වීමක් ලඟදිම දැකගන්න ලැබුනොත් පුදුම වෙන්න එපා. රාවණා මේනියාව, මහමායා-සුදොවුන් පෙරහැර, කතරගම වන්දනාව, පත්තිනි පූජා, රාවණා වන්දනාවෙ ඊළඟ episode එකයි ඔය.

සෑහෙන දවසක් නිකන්ම ගෙදරට වෙලා ඉඳලා කම්මැලි කමක් දැනුන නිසා ඊයෙ උදේ ගෙයින් එලියට බැස්සෙ පොඩි රස්තියාදුවක් ගහන්න. සෙනඟ වැඩිය හිටියෙ නැති 138ක් හෝල්ට් එකට ගිය ගමන්ම වගේ ආපු නිසා නැගලා, අවුව වැටෙන්නෙ නැති පැත්තෙ සීට් එකක වාඩිවුනා. එහාපැත්තෙ ඉන්න බුවා දැකල පුරුදුයි. ඇස් කොනින් බැලුවා කව්ද කියලා.


"බොලේ...! මේ අපේ පියසිරි මාමා නේ!"

"අඩේ මේ අපේ මනයා නේද?? කොහෙ යන ගමන්ද පුතා? අඩේ උසත් ගිහින්!"

මම මගෙ දත් 28ම පෙන්නල හිනාවුනා. පියසිරි මාමා අපේ තාත්තගෙ 'බැචා' කෙනෙක්. කම්පස් එකේ බැච්මේට් කෙනෙක්. දැන් අගනුවර ඉතාමත් ප්‍රසිද්ධ පාසලක භෞතික විද්‍යා ගුරුවරයෙක්. ඉතාමත්ම සුහදශීලියි. ආගිය කතා කියව කියව ඉන්න අතරෙ මම ඔහුගෙන් ඇහුවා මේ දවස්වල මොකද කරන්නෙ කියලා. මොකද දැන් ඉස්කෝල වල නිවාඩු නෙව.

"ආ... මම පුතාලැයි දිහා කොහොමත් එන්නයි හිටියෙ. අපේ මේ සංගමයක් තියෙනවා. පුතාගෙ තාත්තල අම්මලටත් කතාකරන්න හිතාගෙනයි මම උන්නෙ. පුතත් කැමති නම් එන්න"

මොකක්හරි විද්‍යා කවයක් වෙන්නැති. මට හිතුනා.

"මම බලන්නනම් මාමෙ ඕකට එන්න. මොකද්ද සංගමේ?"

"මෙහෙමනෙ පුතා. පුතා දන්නවනෙ බුදුවෙන්නත් පෙරුම් පුරන්න ඕනි වග? ඒ වගේම තමයි බෝධිසත්වයෙක් බුදුවෙන කාලෙක, ඒ ශාසනේ ඉපදෙන්නත් පෙරුම් පුරන්න ඕනි. අපි කට්ටියක් එකතුවෙලා සංගමයක් හදාගෙන.............."

මාමා හෝගාල කියවන් යනවා. මගෙ ඔළුව විකාරයි. විශ්වාස කරන්න, මේ විහිළු කරනවා නෙවෙයි. මේ කට්ටිය පෙරුම් පුරන්න සංගමයක් හදාගෙන!

"එහෙනම් මම මෙතනින් බහිනවා පුතා. ළඟදිම ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්කො"

මාමා බැස්සා.

මොකද්ද මේ සංගමෙ? මාළබේ පැත්තෙ ප්‍රසිද්ධ පන්සලක, දායක දායිකාවන් එකතුවෙලා හදාගත්ත සංගමයක්. ප්‍රදාන තැන දායිකාවක්. ඈට ලැබෙනවලු දිව්‍යලෝකෙ ඉඳන් මෛත්‍රී බෝධිසත්වයින්ගෙන් පණිවිඩ. ඈ ඒ අනුවලු සංගමය මෙහෙයවන්නෙ. මොවුන්ගෙ අරමුණ, මෛත්‍රී බුද්ධ ශාසනයෙ දායක දායිකාවන් වෙන්න පෙරුම් පිරීමලු. සරලව කිව්වොත්, මෛත්‍රී බුද්ධ ශාසනයෙ 'සාමාජික කාර්ඩ්' එක ගන්න.  "ඔය පිස්සො පිස්සියො ගොඩක් එකතුවෙලා බයිලා ගැහුවම අපට මොකෝ?" සමහරවිට කාටහරි හිතේවි. නරක මේකයි. සමාජය ගැන පැහැදිලි දැක්මක්, අවබෝධයක් නැති පොඩි ළමයි පවා මුන් මේ සංගමේට ඇදගෙන ඔලු කුරෝළු කරන්න ඉඩ තියෙනවා. උන් ඊටපස්සෙ මුළු ජීවිතකාලෙම කවුරුහරි 'සකෘදාගාමී' උන්නාන්සෙ කෙනෙක්ගෙ හරි, බලසේනාවක නැට්ටෙ හරි, කොහෙහරි ආරාමෙක හරි එල්ලිලා ඉන්න ඉඩ තියෙනවා.

ඇදහීමක්, විශ්වාසයක් තියෙන එක ජීවිතේට හොඳ විදිහට බලපාන්න පුළුවන්. නමුත් ඊට වඩා ඒවායෙන් ඇතිවෙන නරක වැඩි. මිනිස්සු තමන්ගෙ බය, අසහනය නැතිකරගන්න ආගම් වල පිහිට හොයනකොට, ඒවට අරක්ගෙන ඉන්න ගනින්නාන්සෙලා මිනිස්සුන්ගෙ බය ආයුධයක් කරගන්නවා අමුතු අමුතු සෙල්ලම් දාන්න. 'මහජාතිය වඳවී යෑමේ බය', 'බුද්දරාජ්ජය මුස්ලිම් වීමේ බය' මේ දවස්වල එලිපිට තියෙන ප්‍රධාන බය දෙකක්. කවුරුහරි උන්නාන්සෙ කෙනෙක් ජාත්‍යාලය වඩවන පොර ටෝකක් දුන්නම අපෙ අයියලත් යනවා ඇරගෙන, "එව්වා කොහෙද ඩෝ..ව්! මේක සිංහල රට ඩෝ..ව්! තොපි වල් @$#@^&%$*!!".  මේ අයියලා හරි කැමති ක‍තෝලිකයෙක්, මුසල්මානුවෙක් බුද්ධාගමට එනවනම්. Porn star කෙනෙක් වුනත් කමක් නෑ බුද්ධාගමට ආවොත්, 'මිත්‍යාදෘශ්ටියක ඉපදී, ජීවිතයේ නිස්සාරත්වය වටහාගෙන සත්‍ය බොදු මගට ආ දියණිය' කියලා poster ගහයි, facebook එක පුරා photos share කරයි. එකෙක් share කරලා තියෙනවා දැක්කම අනිත් උනුත් උඩදාගෙන share කරයි (sup එකට, ජාත්‍යාලෙට, ආගමාලෙට, ජාත්‍යාතලේට). බෞද්ධයෙක් අන් ආගමකට ගියොත්, ඔන්න, ඉඳලා හමාරයි.

ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ තියෙන ලොකුම අවුල, තමන්ගෙ ඇස් මානෙන් එහාට දකින්නෙ නැහැ. සිදුවීමක් මිසක්, එය සිදුවීමට හේතුවක් දකින්නෙ නැහැ. සැබෑ සිදුවීම කුමක්දැයි සොයා බැලීමක් නැහැ. ඒ අඩුපාඩුවෙන් රටේ ලොකු තැනේ ඉඳලම ප්‍රයෝජන ගන්න බව මිනිස්සු දන්නෙ නැහැ. මිනිස්සු මේ වැටිලා ඉන්න නින්දෙම, මායාවෙම ගිලිලා ඉන්නවා නම් ලොකු තැන් කැමති. එක එක සේනාවන්, බලකායන් එළියට එන්නෙ අන්න ඒ අරමුණෙන්. රාවණා පැරහැර, මහමායා පෙරහැර, මෛත්‍රී සංගමය අතුරු කතා. මේ මේ සංගම් හා ඒවායේ ක්‍රියාකාරකම් වලින් මිනිස්සුන්ව කොහොම 'tune' කරලද කිව්වොත්, 'බෞද්ධ', 'සිංහල', ජාතිය', ධර්මද්වීපය', 'දේශීයත්වය', 'අපේ කම', 'සංස්කෘතිය' වගේ ඇ‍ඟේ මයිල් කෙලින්වෙන, ඇඟ හිරිවැටෙන වචන දැක්කම, ඇහුනම, කිසිම ආකාරයක සොයාබැලීමක් කරන්නෙ නෑ බහුතරයක් දෙනා.

"මොනවා බල බල ඉන්නද ඩෝ..ව්? වරෙන් ඩෝ..ව් දර්මෙ ‍රැකගන්න යන්න!"







3 comments:

  1. මේකේ කිසිම රැඩිකල් ගතියක් නෑනේ...... :) හැම බ්ලොග් එකම කියන්නේ මේ ටිකමනේ....හොද නැද්ද රැඩිකල් ගතිය එන්නත් එක්ක වරෙව් යන්න මේ බලකායන් කැති ගාන්න වගේ එකක්...කමොන් මෑන්.....

    ReplyDelete
  2. කමින් සූන්.....ධර්මපාල බළකාය.

    ReplyDelete
  3. එහෙම හඬවල් ඇහෙනවා කියන්නේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.මානසික රෝගයක්ද දන්නේ නෑ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete