Monday, March 31, 2014

මේ වළෙන් ගොඩ එන්න ඉනිමඟක් පේනවද? එහෙනං දැන්ම පටන් ගනින් නගින්න!

ඡන්දෙත් ඉතිං ඉවරයි. ප්‍රතිඵලත් ආවා.

ආණ්ඩුවට ලැබිච්ච ඡන්ද ප්‍රතිශතය 2009 අවුරුද්දට සාපේක්ෂව තරමක් අඩු වෙලා කියල පේනවා. එක එක අය එක එක හේතු කියනවා, ඒත් මං නං හිතන්නෙ ඒක ටිකක් හොඳ ට්‍රෙන්ඩ් එකක්. මං අලියෙක් නෙමෙයි. ෆොන්සේකා-කාරයෙකුත් නෙමෙයි. ජෙප්පෙකුත් නෙමෙයි. මං පක්ෂයකට හේත්තු වෙලා නෑ. හැබැයි ඡන්ද ආණ්ඩුවෙන් පිට යන එකට කැමතියි. මොකද මේක හරි යන ක්‍රමයක් නෙමෙයි. ඒකයි මං කියන්නෙ මේක ටිකක් හොඳ ට්‍රෙන්ඩ් එකක් කියලා. හරියට කන්න අඳින්න නැතුව, අවශ්‍ය දෙයක් ගන්න, අවශ්‍ය ගමනක් යන්න අතේ සතේ නැතුව, ආශ්චර්ය බලා යන මේ හිස් ගමනේ කොතැනක හරි මිනිස්සුන්ට මොළේ පෑදෙන තැනක් තියෙන්නත් එපැයි.


හැබැයි තාමත් ඉන්නව නිකං අමුතු සෙට් එකක්. ඇහුවොත් නං ආණ්ඩුවට පලු යන්න බනිනවා. බැනල බැනල ගිහින් උඩ පැනල උන්ටම ඡන්දෙ දෙනවා. “කළගුණ සලකන්න” වෙන්න ඇති.  මේක කියවන ඔබත් එහෙම එකෙක් නං, මට තියෙනව ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක්.

1. ඔබට දැනිල තියෙනවද, එක දවසකදී කොච්චර නං මිනිස්සු ඔබව රවට්ටනවද කියල? මං කතා කරන්නෙ යාලු මිත්‍රයො ගැන නෙමෙයි. ඔබ යන කඩේ වෙළෙන්දා, ස්වීප් කාරයා, ත්‍රීවීල් කාරයා වගෙ එදිනෙදා ජීවිතේ මුණ ගැහෙන මිනිස්සු ගැන.
ඔවුන් ඔබව රැවටීමට හේතුව ඔවුන්ගේ දුප්පත්කම කියල තේරෙනවද?

2. ඔබ දැකල තියෙනවද, උසස් පෙළ විභාගෙ A 3 ක් අරගෙනත් විශ්ව විද්‍යාලයකට යන්න බැරුව ඉන්න දහස් ගණනක් වූ ශිෂ්‍යයන්ව?
ඒකට හේතුව, ඒ ඒ අංශ භාරව ඉන්න ඇමතිවරු සහ උන්ගෙ යටතේ ඉන්න එවුන් කරන ගොබ්බ වැඩ කියල තේරෙනවද?

3. ඔබ දැකල තියෙනවද, තමන්ගෙ පවුලේ අයට කන්න බොන්න ගන්න සල්ලි නැතුව, ඇඳුමක් පැළඳුමක් ගන්න සල්ලි නැතුව, බෙහෙතක් ගන්න සල්ලි නැතුව, ගෙදර බිල් ටික ගෙවාගන්න සල්ලි නැතුව සුසුම්ලන සාමාන්‍ය මිනිහව?
අහස උසට උද්ධමනයකුයි, සොච්චම් පඩි අනුපාතයකුයි මේකට හේතුව කියල තේරෙනවද?

4. ඔබ දැකල නෙමෙයි අඩු ගානෙ කියවලවත් තියෙනවද, අවුරුදු ගානකට මුළු රටටම උනත් කන්න දෙන්න පුළුවන් තරං ලොකු කෝටිපති ව්‍යාපාරිකයො, තව තවත් මඩි තර කරගන්න හැටි? ඒ අතරේ රටේ ඉන්න සාමාන්‍ය මිනිහ අර කලින් කිව්වා වගෙ මුකුත් නැතුව සුසුම්ලන හැටි?
ඒකට හේතුව, සාමාන්‍ය මිනිහගෙ අතට සල්ලි ගලා යන ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටේ නැති එක කියල තේරෙනවද?

5. ඔබ දැකල තියෙනවද, මේ රටේ බොහොමයක් ඇමතිවරු, අල්ලස්, කප්පම්, කුඩු වගෙ අසාධාරණ විදිහට, රටේ මිනිස්සුන්ව ගසාකමින් හම්බකරගත්ත සල්ලි වලින් සුර සැප විඳින හැටි? මේ රටේ ළමයින්ට යන්න තියෙන ඉස්කෝල ටික වහල දාද්දි, A 3 ක් ගන්න ළමයින්ට විශ්ව විද්‍යාලෙට යන්න බැරි වෙද්දී, උන්ගෙ ළමයි පිට රටවල විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න හැටි?
උන් සුර සැප විඳිමින් කාබාසිනියා කරන්නෙ, රට හදන්න ඔබ දෙන සල්ලි කියල ඔබට තේරෙනවද?

6. ඔබ අත්දැකල තියෙනවද, මේ රටේ හැම රාජ්‍ය ආයතනයකම, දෙපාර්තමේන්තුවකම, දූෂණය රජ කරන හැටි? වගකීම් පැහැර හරින හැටි?
මෙලෝ සුදුසුකමක් නැති, වංක ඇමතිවරු සහ නිලධාරීන්, ඒ තත්වය ඇතිවෙන්න හේතුව කියල ඔබට තේරෙනවද?

7. ඔබට පුලුවන්ද මට කියල දෙන්න, නැව් එන්නේ නැති වරායකිනුයි, ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපළකිනුයි රටේ ආර්ථිකය ගොඩ නැංවීමට ලැබෙන සහයෝගය?
තම තමන්ගෙ නම් ප්‍රචලිත කිරීමටයි, බොරු සෝබනේටයි, සාක්කු පුරවා ගැනීමටයි කරපු මහා සල්ලි නාස්තියක් කියලා ඔබට තේරෙනවද?

8. ඔබ දැකල තියෙනවද, රටේ හමුදාව සහ පොලිසිය “පවුලේ” හමුදාව සහ පොලිසිය බවට පත්වෙලා තියෙන හැටි?
ස්වාධීනව පැවතිය යුතු ආයතන හැම එකකටම පාහේ දේශපාලනික ඇඟිලි ගැසීම්, බලපෑම් සිදුවෙන බව ඔබට තේරෙනවද?

9. ඔබට දැනිල තියෙනවද, මිනිස්සුන්ගේ ජීවන තත්වයේ යම් තරමක හරි දියුණුවක්? යුද්දෙට වැය කරපු සල්ලි, යුද්දෙන් පස්සේ ඉතුරු විය යුතුයි. කෝ ඒ සල්ලි? මොනවද ඒවයින් කළේ? කෝ අර LTTE එකෙන් අල්ල ගත්ත කියපු රත්තරං ගොඩ?
ඔබට බොරු කියමින් ඔබව රවට්ටන බව ඔබට තේරෙනවද?

10. ඔබට දැනිල තියෙනවද, ආර්ථිය පැත්තෙන්, සංස්කෘතිය පැත්තෙන්, ජාති ආගම් අතර සහජීවනය පැත්තෙන්, අන්තර්ජාතික සම්බන්ධතා පැත්තෙන්, ආදී විවිධ පැති වලින් මේ රට ආගාධයට යන බව?
ආශ්චර්යයක බොරු සිහිනයක් පෙන්වමින්, ඔබව ගොනාට අන්දවන බව ඔබට තේරෙනවද?

මේ වළෙන් ගොඩ එන්න ඉනිමඟක් පේනවද? එහෙනං දැන්ම පටන් ගනින් නගින්න!





5 comments:

  1. 1 සිට 10 ටම ප්‍රශ්න පත්තරේ කියෙව්වා.සමහර ප්‍රශ්න වලට නම් මේ ආණ්ඩුවට විතරක් දොස් කියන්නත් බෑ.1,2,3,4 ප්‍රශ්න මොන ආණ්ඩුව ආවත් එහෙම තමයි. පොඩ්ඩන්ට දේශප්‍රේමෙ කිය කිය ලොක්කො සැප විඳින එක නම් අසාධාරණයි. සම්බාධක දැම්ම වුනත් ලොක්කො රට ගිහින් සැප ගනියි. සමහරුන්ගෙ ළමයි ඉගෙනගන්නෙ අධිරාජ්‍යවාදී රටවලලුනෙ අපි ඒ අය කියන දේවල් අහල ගූගල් සර්ච් කරන එකත් නැවැත්තුව පුහ්.

    මේ ප්‍රශ්න වල 7 වැනි ප්‍රශ්නෙ ගැන නම් කතා කරල වැඩක් නෑ. අපමරාදෙ සල්ලි.
    ඔක්කොම ප්‍රශ්න වලට එකඟ වෙනව ඇර වෙන මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සමහර ප්‍රශ්න කොයි ආණ්ඩුව ආවත් තියෙන ඒවා තමයි. අඩු වැඩි වශයෙන්. සමහර විට වෙන ආණ්ඩුවක් ආවොත් මේ තියෙන තත්වයට වඩා දරුණු වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි එහෙම වෙයි කියල හිතාගෙන මේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ නොගන්න එක තේරුමක් නැති වැඩක් හැටියටයි මං දකින්නේ.

      Delete
  2. ආණ්ඩුවේ වැඩපිළිවෙලවල්වල ගැටලුනම් තියෙනවා. ඒත් ඒකට පිළිතුර මොකක්ද? යූඇන්පීයනම් නෙමෙයි මට හිතෙන හැටියට.

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවොත් නං මේ තියෙන එකකවත් 100% සාර්ථක පිළිතුරක් නෑ. ඕකට ලේසි පිළිතුරක් හොයන්නත් බෑ. එහෙමයි කියල මේ ආණ්ඩුවටම ඡන්දෙ දෙන එක හරියි කියල හිතනවද?

      Delete
  3. 8 වෙනි ප්‍රශ්නයේ මම හිතන්නේ උත්තරයක සේයාවක් හැංගිලා තියෙන හැඩයි. ඒත් මේක කල්පනා කරන්න වෙන්නේ කවදාවත් රටක ඉන්න හැමෝට ම අයිති හමුදා, පොලීසි, උසාවි, පාසල්, විශ්ව විද්‍යාල ආදි ආයතන තියෙනවද කියන එක ! එහෙම තියෙනව කියල හිතන් ඉන්නවානම් ඔන්න මේවා සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්න ම තමයි. ඒත්, ඇත්ත කථාව ඒවා එහෙම වෙන්නේ නැත්තම්, ප්‍රශ්නය තියෙන්නේ ඒවා එහෙමයි කියලා අපි හිතන් ඉන්න එක ඇතුළේ නේද ? ඕක පැහැදිලි කර ගත්තොත් අනිත් ප්‍රශ්නවලට නිකම් ම උත්තර ලැබේවි කියල මට හිතෙනවා.

    ReplyDelete