Tuesday, November 19, 2013

ඈ-ගේ කුරුල්ලා-මම.

අහසෙ කළු වළාකුළු. හුළඟ සැරයි. වැස්සක් ලඟ නිසාද කොහෙද පාක් එක පාලුයි. කිරි කිරි ගාලා පැද්දෙන් ඔංචිල්ලාවක් අතින් අල්ලලා නවත්තගන්න ඈ ඒකෙ වාඩිවෙනවා. ඈට මාව පේන්නෙ නෑ. මට ඈව පේනවා. ඇගේ කතාව ඔබට කිව යුතුද නැද්ද මම දන්නෙ නෑ. ඒත් ඔන්න ඔහේ කියලා දානවා. කොහොමටත් ඔබ ඈව අඳුනන්නෙ නැහැනෙ.

මට ඈව හමුවෙන්නෙ  A/L chemistry class එකේදි. ඈ දැනන් හිටියා මම ඈට කැමැත්තෙන් ඉන්න බව. නමුත් ඈ ඒ ගැන දැක්වුවෙ උදාසීන ආකල්පයක්. ඈට ඔහුව හමුවෙන්නෙත් එහෙදිමයි. ඔවුන්ව ලඟින් ආශ්‍රය කළත්, ඔවුන් අතරෙ තිබුන සම්බන්ධය මොන වගේ එකක්ද කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ඒක තේරුම්ගන්න උත්සාහ නොකළෙත්, සමහරවිට මමත් ඈට කැමැත්තෙන් හිටි නිසා වෙන්නැති.  ඔවුන් ඒක label කරන්න නොගියෙ, සමහරවිට, ඒ මොකද්ද කියලා ඔවුන්වත් දැනගෙන නොහිටි නිසා වෙන්නැති.


කල් යද්දි, ඈ අපට වඩා ඔහුට ආසක්ත බව හැඟුනා. අපි කට්ටිය හවසට පාඩම් කරන්න එකට වාඩිවෙනකොට ඈ වාඩිවුනේ ඔහු ලඟින්මයි. ඔහුගෙ එක හිනාවක්, එක ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් ඈ කොපමණ දේවල් කලාද... ඈ සිහින දකින්න ගත්තා. ඔහු ඈට ආලය කලාද නැද්ද මම අදටත් දන්නේ නැහැ. නමුත් ඈ ඔහුට ආලය කළා. ඈ කෙරෙහි ඔහුගේ හිතේ තියෙන්නෙ කොහොම අදහසක්දැයි නොදැන ඔහුට ආලය කිරීම බොළඳ බව  හැඟුනු නිසා මම ඒ බව ඈට කිවුවත් ඈ එය පිළිගත්තෙ නෑ. ඈ කිවුවා මම ඒ දේවල් කියන්නෙ ඊරිසියාවෙන් බව. ඔවු, මම ඊරිසියා කළා. නමුත් ඔවුන්ව බිඳවන්න ඕනෙකමක් තිබ්බෙ නෑ මට. ඈ මාව විශ්වාස කළේ නෑ. ඈ මා එක්ක කතාකරන එක නැවැත්තුවා.

විභාගෙ කිට්ටු වෙද්දි, වැඩ ගොඩගැහෙද්දි, අපි එකට පාඩම් කරන එක නැවැත්තුවා. ඒ නිසා ඈටත් ඔහුටත් මොනව වුනාදැයි දැනන් හිටියෙ නෑ. ඈ ගැන හොයල බලන්න උවමනාවක් ඇතිවුනෙත් නැහැ මට.  ඒ කතාවත් අමතක වෙලා ගියා, අපේ කණ්ඩායමේම තවත් කෙල්ලෙක් ලඟකදි මට හම්බවෙනකන්ම.
       
             "මිනුරට කොල්ලෙක් ඉන්නවලු!"

යකෝ...! අරූ ගේ කුරුල්ලෙක්! මට හිනාවෙන්නද, අඬන්නද හිතාගන්න බැරිවුනා. හිනාවුනොත් මේ කෙල්ලත් හිත රිදවගනීවි. ඈ තව මොන මොනවදෝ කිවුවත්, ඒ එකක්වත් ඔලුවට ගියේ නැහැ. මිනුරට කොල්ලෙක්? එතකොට ඈට මොකද වුනේ? ඈ ඒක කොහොම දරාගත්තද දන්නෙ නෑ...? එක අතකින් ඕකිට හොඳ වැඩේ! ඇගෙන් සමු අරන් මම ගෙදර ආවා.

මූ කොලුකාරයෙක් නම් ඇයි මූ ඈව ප්‍රතික්ෂේප නොකළෙ? ඇයි අකමැත්තක් නොපෙන්නුවෙ? ගෙදර ගියත් හිතට සැනසීමක් නෑ.  මම ඈට කතාකරන්න හිතුවා.
'ඔබ ඇමතූ දුරකතන අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත....'
දිගින් දිගටම ගත්තත් ඈට කතාකරන්න බැරිවුන නිසා මම වැඩේ අත ඇරියා. ඈ ගැන ආරංචියක් ලැබුනෙ නෑ ඊට පස්සෙ. මිනුරටවත් කතාකරනවා කියල හිතන් ඔහුගෙ ගෙදරට call කලාම, දැනගත්ත ඔහු ඕස්ට්‍රේලියා ගිය බව.

"මේකද තමුසෙගෙ මහ ලොකු 'ඇගේ කතාව'?", සමහරවිට ඔබ දැන් අහන්න ඉඩ තියෙනවා. ඔව්, මේක තමයි මට කියන්න ඕනෙ වුනු ඇගේ කතාව. මහ ලොකු දෙයක් නෑ තමයි. නමුත්.. නමුත් ඔබ මට කියන්න,
ඔබට ඇය හමුවුනොත්, ඔබ ඈට හිනාවේවිද?

   "ආ....! කොලුකාරයෙක්ට love කළාලු නේද??"

ඈ මා එක්ක කතාකළොත් මම ඈට හිනාවේවිද?


මම දන්නෙ නෑ.

හුළඟ සැරයි. කළු වලාකුළු තවමත් එහෙමමයි. ඈ තවමත් එතන.






1 comment:

  1. අපරාදෙ ජාති දෙකම පාවිච්චි කලානම් හරි..කොල්ලෙක් නම් කසාද බදින්න ඕන නැහැ නේ..

    ReplyDelete