Wednesday, November 27, 2013

ඇස් ඇරලා බලාපල්ලා! අත් දිගහැර නටාපල්ලා!


"අද lunch එක ගත්තෙ Mc Donald's එකෙන්. දැන් මේ Odel එකට යනගමන්. හවසට යනවා Savoy එකේ KRRISH 3 බලන්න"

     'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය'

රටේ නමට 'ප්‍රජාතාන්ත්‍රික', 'සමාජවාදී' වගේ කෑලි තිබුණට රටේ පවතින්නෙ ධනේෂ්වර සමාජ ක්‍රමයක් බව ඔබ දන්නවා. නමුත් වෙනත් රටවල ධනපති පන්තිය බිහිවූ ආකාරයට වඩා අපේ රටේ ධනපති පන්තිය බිහි නොවුනු නිසා රටේ මිනිස්සු අති බහුතරයක් විකෘති චින්තනයකයි ඉන්නේ. මේ නිසා, රාජ්‍යය ධනේෂ්වර වුනාට සමාජය තවමත් වැඩවසම් මානසිකත්වයෙත්, ජාතිකත්ව සීමාවෙත් පවතින බව දැකගන්න පුලුවන්. රටේ ධනේෂ්වර රාජ්‍යය නිසි ලෙස සංවර්ධනය නොවුනු නිසා, මේ රටේ ගෑණු මිනිස්සුන්ගෙ මොළ ක්‍රියාත්මක වෙන්නෙ ආසියානු ලක්ෂණ සහිත වැඩවසම් ක්‍රමයක් තුල බව දකින්න පුළුවන්.
තවමත් ලංකාවෙ මිනිස් මොළ ඇතුලේ වහල් ගති රාශියක් ඉතිරි වෙලා තියෙන්න හේතුවත් ඒකයි. ( ආසන්නතම උදාහරණය : CHOGM ලංකාවේ පැවැත්වීම )

ලංකාවෙ පාලන බලය තියෙන්නෙ ඉහත කී විකෘතිය සහිත ධනපති පන්තිය අතයි. සංස්කෘතික වශයෙනුත් ක්‍රමයෙන් ධනේෂ්වර තත්ත්වයට පත්වුනු ධනපති පන්තිය වෙනුවට, රට පාලනය කරන්නේ සංස්කෘතික වශයෙන් අන්ත පසුගාමී කොට්ඨාශයක්. අයථා ක්‍රම මගින් හා බලහත්කාරයෙන් ධනවත් වුනු, තම බලය ප්‍රකාශකිරීමේ මානසිකත්වයෙන් හෙබි ධනපති පන්තියක්. සැබෑ ධනපති රටවල, බලය ලබාගැනීම සඳහා ඉදිරියට එන මහත්වරු වෙනුවට ලංකාවෙ මිනිසුන් ඉදිරියට එන්නේ කුඩු සෝමෙලා, පච්ච සිරාලා. මේක ඛේදාන්තයක් වෙන්නේ, මොවුන්ව රටේ පාලනය සඳහා පත්කරන්නේ මොවුන් සමඟ කලක් එකට හිටි නිර්ධන පාන්තිකයන් විසින් වීම.

හේතුව : තවමත් වැඩවසම් ක්‍රමයක් තුල මොළ කොටුවී පවතින විකෘති මානසිකත්වයක් සහිත කොට්ඨාශයක් බවට ඔවුන් පත්වී සිටීම.

ඇයි එහෙම කියන්නේ? ලංකාවෙ මිනිස්සුන්ට තියෙන ලොකු විකෘතියක් කැපී පෙනීමේ ආශාව හා අනෙකා පරයා නැගී සිටීමෙ කැමැත්ත. මෙය සවිඥානික හෝ අවිඥානික විය හැකියි. මේ කැපී පෙනීම හා පරයා නැගීමේ ආශාව නිසා තමාගේ ප්‍රතිරූපයට වටිනාකම් එකතුකරගන්න හැමෝම උත්සාහ කරනවා. කලාකාරයො විවිධ ව්‍යාපාර කරනවා. ක්‍රීඩකයො කිරිපිටි විකුණනවා. හාමුදුරුවරු අරලියගහ මන්දිරයේ බණ කියන්න යනවා. ඔවුන් හිතනවා ඒක ලොකුකමක් බව. ඒ, සමාජය ඒවට වටිනාකම් එකතු කරන නිසා.
ඔබ අනුරාධපුරයේ වන්දනාවේ ගිහින් ඇති. දැකලා තියෙනවද ශ්‍රී මහා බෝධියේ අතුවල නම් ලියපු කොඩි ගැටගහලා තියෙනවා? මේ කොඩි ගැටගැසීමට මූලික හේතුව තම සමීපතමයෙක්ගෙ අසනීපයක් සුවකරගැනීම විය හැකියි. නමුත් ශ්‍රී මහා බෝධියේ අත්තක කොඩියක් ගැටගැසීම වටිනාකම් එකතුවන ක්‍රියාවක් ලෙස සමාජය තුල පිළිගැනීමක් තිබීමත් ප්‍රධාන හේතුවක්. රටේ ඉහළම තැනේ සිට පහළම තැන දක්වා ශ්‍රී මහා බෝධියට, නල්ලූර් කෝවිලට, දළදා මාලිගාවට යන්නේ ඇයි? එම ස්ථාන වලට යෑමෙන් ප්‍රවෘතියක් බවට පත්වී රූපවාහිනියේ පෙනී සිටීමට හා අසල්වැසියන් අතර කැපී පෙනීමට හැකි බව ඔවුන් දන්නවා. ලාංකීය සමාජයේ වටිනාකම් ලැබීමට එය හේතුවක් වන බව, ශ්‍රී මහා බෝධියට වැඳීම ඉහල ක්‍රියාකාරකමක් බව සමාජය තුල ගොඩනැගී ඇති මතයට ඔවුනුත් අවනත නිසා. 

රටේ පවතින මේ විකෘති ධනේෂ්වර ක්‍රමය නිසා බොහොමයක් ප්‍රසිද්ධ හෝ බලය හිමි පුද්ගල‍යන් තමාගේ ස්වාධීනත්වය ස්වකැමැත්තෙන්ම විකුණා අවසන්. ඔබම කියන්න, ලංකාවෙ ඉන්නවද නිදහස් කලාකාරයො? නිදහස් මාධ්‍යවේදියො? නිදහස් ආගමික නායකයො? නිදහස් දේශපාලකයො? ඇතමෙක්ව සමාජයට නිදහස් පුද්ගලයන් ලෙස පෙනුනත්, ඒ බොහොමයක් දෙනා සැබැවින්ම නිදහස් අය නොවේ. ඔවුන් නිදහස් ලෙස කරන දෙයක් නැහැ.  කාටද කියන්න පුළුවන්, සමහරවිට අද සමාජයට එය නොපෙනුනාට හෙට පෙනෙන්න ඉඩ තියෙනවා. ඉතින්, ඇස් ඇරලා බලාපල්ලා! අත් දිගහැර නටාපල්ලා!


6 comments:

  1. හඃ .... කියන්න දෙයක් ඔලුවට එන්නේ නැතෝ

    ReplyDelete
  2. සමාජයට ඔය දේවල් පෙනෙයිද කියන එකයි සැක..

    ReplyDelete
  3. මම හැමදාම කියන්නේ ඒකයි. මේක ලැම්බෝගිනි වල නැගලා හයි ස්පීඩ් එකේ ගල් යුගයට යන සමාජයක්.."

    ReplyDelete
  4. අනේ බං මැක්ඩොනාල්ඩුවෙන් කන එක මහ ලොකු දෙයක් නෙවෙයි බං,ඇති දෙයකුත් නෑ මහලොකුවට තිබුනට.ඇමරිකාවේ ඕකෙන් කන්නේ අපේ රටේ හැටියට 3 පන්තියේ මිනිස්සු,මෙහේ එවුන්ට මෙව්වා මැජික්.මං දවසක් බස් එකේ යද්දි මං ගාව වාඩි වෙලා ගිය international school යන නංගිලා දෙන්නෙක් pizza hut එකට රෑකෑමට ගියා කියලා අනික් අයට ඇහෙන්න සිංහලෙන් කියනවා.ඇයි යකෝ කියපල්ලකෝ ඉංගිරිස් වලින්ම.හැඩකාර කෙල්ලො දෙපලක් හින්දා මං අහංහිටියේ හොඳේ)www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  5. මැක්ඩොනලඩ්, KFC, Pizza Hut ගිය කාලයක් මතක නෑ... මෙන්න හේතුව...
    MacDonald food is unhealthy because the main ingredients used include cheese, ketchup, pickles and red meats. These foods are not healthy and are likely to increase one's cholesterol level, causes increase in weight and rapid accumulation of fat in the liver. These foods are generally junk and have very little nutritional value.(uk.ask.com)

    ReplyDelete
  6. ඉස්සර නම් ඔය සිවිල් පොරවල් කරේ තම ආත්මය උගස් කරන එකය. සමහරුන් පසුකාලයක ඒවා නැවත බේරා ගන්නා ලදිය. දැන් කරන්නේ කෙලින්ම ගානක් කතා කරගෙන විකුනා දැමීමය. සියල්ලම දිනෙන් දින විකිනී යමින් පවති. අවසන ඉතිරිවන්නේ තම ආත්මය මුදලාලි පැලැන්තියකට විකුනා කෑ හිස් මිනිසුන් සමූහයක්ය. අහෝ ඛේදයකි. ඛේදවාචකයකි.

    ReplyDelete