Tuesday, October 22, 2013

"මහායාන"

මම වාඩිවෙලා හිටියෙ දකුණු අත පැත්තෙ සීට් පේලියෙ, ඉස්සරහ ඉඳන් දෙවනි සීට් එකේ. සුදු ඇඳගත්ත මැදි වයස් නෝනල දෙන්නෙක් මට ඉස්සරහ සීට් එකේ. පන්සල් ගිහින් එන ගමන් වෙන්නැති. දෙන්නා එක්ක බර කතාබහක්. අහන් ඉන්න හිතුනා මට. ඔව්, අනුන්ගෙ කතා වලට ඇහුම්කන් දෙන එක කැත පුරුද්දක්. ඒත් ඒ කැත පුරුද්ද මට තියෙනවා.
"දීඝවාපිය? අනේ මම සොළොස්මස්ථාන වලින් වැඳලා නැත්තෙ දීඝවාපිය විතරයි අනේ. ජානකී යනකොට අපිටත් කතාකරන්නකො? අපෙ මහත්තයත් හරි ආසයි ඔය ගමන් වලට"
"මොකෝ නැතුව, අපෙ නංගිත් කිවුවා යනකොට පුශ්පලටත් කියන්න ඕනි කියලා. ඒක නෙවේ අනේ, අර පූජ්‍ය අහවල් හාමුදුරුවො බණකට කිවුවනෙ බුදුහාමුදුරුවො වැඩ ඉඳල තියෙන්නෙ ලංකාවෙය කියලා?"

"නෑ... බොරු?"
"නෑ බොරු නෙවේලු අනේ, ඒ හාමුදුරුවො ගිහිනුත් තියෙනවලු වැඩ හිටි තැනකට!"
"අනේ එහෙනම් අපිත් යමුකො අනේ, කොච්චර පිනක්ද?"
"මම මේ අහන්නමයි හිටියෙ, ඔය හාමුදුරුවො බණකට වැඩියද ඔයාලයි පන්සලට? ඒ හාමුදුරුවො එහෙම හැම තැනටම වඩින්නෙ නැහැනෙ"
"ඔන්න, ඔයා ඕක ඇහුවමයි මතක්වුනේ, හරි වැඩේ අනේ පන්සලට වෙලා තියෙන්නෙ!"
"මොකද වෙලා තියෙන්නෙ?"
"ඒ පැත්තට ගංවතුර ගැලුවනෙ. ඉතින් ඇළ දෙපැත්තෙ හිටි මිනිස්සු දැන් ඉන්නෙ පන්සලේ බණ මඩුවෙ. කන්නෙ බොන්නෙ නාන්නෙ කරන්නෙ ඔක්කොම පන්සල ඇතුලෙ. හාමුදුරුවන්ටත් පිස්සු අනේ. එලවන්නෙත් නෑ. නිදහසේ පිනක් දහමක්වත් කරගන්න නෑ ඔය මිනිස්සු ඉන්නකොට!"
අනේ @#$&@*#$! මට උඩ බැලුනා. මේ ස්තිරියාවො දෙන්නා මේ කරන පින් සක්‍රයගෙ කොම්පියුටරේට නොවැටුනොත් හරි අපරාදෙ.
කිරුළපන. චීන, ජපන් හෝ කොරියන් මෙහෙණින් වහන්සෙ නමක් බස් එකට නැග්ගා. අලු පාට සිවුරක් ඇඳලා. නෝනල දෙන්නා එසැනින් අහක බලාගත්තා.
                 "මහායාන"
එක නෝනෙක් අනිත් නෝනට කෙඳිරුවා.
බාගෙට ගැලවිලා තිබ්බ 'පූජ්‍ය පක්ෂයට වෙන්ක‍ර ඇත' ස්ටිකර් එක හුළඟට හෙලවුනා. නැත්නම් සමච්චලේට වගෙ හිනාවුනා ද මන්දා. සක්‍රයගෙ පඬුපුල් ආසනේ වගෙ සීට් එක රත්වුනා. මම සීට් එකෙන් නැගිටලා ඉස්සරහට ගියා. එතුමිය වාඩිවෙන්න ඇති.
තුම්මුල්ල. බස් එක හෝල්ට් එකේ නතරකළා. බහින ගමන් ඇස් කොනෙන් සීට් එක දිහා බැලුනා. එතුමිය බැහැලා ගිහින්ද? සීට් එකේ ඉන්නෙ වෙන කවුද පින්වතෙක්නෙ?
ආ... අන්න එතුමිය, තවමත් හිටගෙන?
මම බස් එකෙන් බැස්සා.

4 comments:

  1. හක්කේ බුදුරැස්.....බොක්කේ දඩමස් වගේ තමයි

    ReplyDelete
  2. අපේ ගොඩක් උපාසක ඇත්තො ඇත්තියො ඔහොම තමා. දැන් දහමත් අපිට ඕන විදියට නොවැ පාවිච්චිය.

    ReplyDelete
  3. පින ඉතිං පිනමැ තමායි.. නයිට් ක්ලබ් යන අයයි කොළඹ හතේ පංසල් වල පිං කරගන්න යන අයයි ලබන්නෙ එකම සතුට.. මං හිතන්නෙ ඕ දෙගොල්ලම අවසානෙ අපායෙදි සෙට් වෙයි..

    ReplyDelete
  4. උපාසක ඇච්චො ඇච්චියො විතරක් නෙවේ. සමහර සිවුරු හොරුත් එහෙදි තමයි අන්තිමට සෙට් වෙනවා ඇත්තෙ :D

    ReplyDelete