Friday, August 23, 2013

මේ ලිපියට නමක් දෙන්න

 අලුත් බ්ලොග් එකක්. පළවෙනි පෝස්‍ටුව. කුමක් ලිවිය යුතු දැයි මටම හිතාගන්න බැහැ. දේශපාලනය? (UPFA? UNP? JVP? ) කාලීන යමක්? ( ආගමික, ජාතිවාදී , ආගමික හා ජාතිවාදී, ආගමික හෝ ජාතිවාදී නොවන? කිරිපිටි? වතුර?) උපදේශාත්මක යමක්? ( අවාසනාවකට වගෙ උපදේශ දෙන්න මට වයස මදි තවම ) විචාරයක්? (චිත්‍රපටයක්, පොතක්, සින්දුවක්, සින්දුවක රූප රචනයක්?) එහෙම නැත්නම් ඔබාමාට බැනලාම පළවෙනි පෝස්ට් එක ලියන්නද? (මොකද සමහරුන්ට අනුව මේ රටේ ප්‍රශ්න වැඩි හරියකටම හේතුව ඔබාමා නිසා ) අත්දැකීම් ගැන, හිතට එන දේවල් ගැන ලියන්නත් පුලුවන් ඕනෙ නම්.  ඒත්.. අනේමන්දා... එහෙම නැත්නම්… නිකන්ම නිකන් කවියක්?

නැහැ. මට කවි ලියන්න බැහැ. මම කවිකාරයෙක් නෙවෙයි. සින්දු ලියන්න පුලුවන්ද අහන්න එපා. මොකද කවි ලියන්න බැරි එකාට සින්දු ලියන්නත් බැහැ (ඔය දැන් ඕනෙ තරම් ලිවුවට ;) ) . 

ඇත්තටම මම මොනව ලියන්නද කවි ඇරෙන්න? මේ රටේ ලියන්න තරම් දෙයක් වෙනවයැ? යුද්දෙ ඉවරයි. රට සාමකාමී. මිනිස්සු අතුරුදන් වෙන්නෙ නැහැ. බඩගින්නක්, දුප්පත්කමක් පළාතක නැහැ. හරිම සුන්දරයි. මල් පිපිල. සාමා එන්න අමර එන්න මල් පිපී ඇති හැටි බලන්න!?!? 

නෑ. ඇති. මට අද ඇත්තටම ලියන්න හිතක් නැහැ.

"ඉතින් ලියන්න දෙයක් නැත්නම් ගිහින් වැඩකට ඇති දෙයක් කරපන් බූරුවො!"
ඔබ කියාවි.

ඒත් මට නොලියා බැහැ.

මම මනෝරථ. උන් මට මනෝරථ කියන්නෙ මනෝ ගහන නිසා. නැතුව මට මහා විසාල බලාපොරොත්තු තියෙන නිසා නම් නෙවෙයි. මට ඔය නම වැ‍ටුනෙ කොයි කාලෙද කියල මතක නැතත්, කිසිම පැහැදිලි හේතුවක් නැතුව වැ‍ටුන නමක් බව නම් සහතිකයි ;) මොකෝ මම මනෝ ගහන එකක්යැ? ;) හැබැයි මම මීට කලින් මනෝරථ කෙනෙක් ගැන නම් අහල නැහැ ඉන්දියාවෙ හිටිය භික්ෂූන්වහන්සෙ කෙනෙක් ගැන ඇරුනම. ඒත් උන්වහන්සෙ මනෝ ගැහුව බවක් මම අහලා නෑ.

දැන් නම් මේ වැඩේ හොඳටම ඇති. ඔබටත් එපා වෙලා. මටත් එපා වෙලා. වල් බූත ලිය ලියාඉන්න එක නම් අමාරු වැඩක් නෙවේ. ඒත් ඔබට ඒවා කියවන එකයි අමාරු. ඔබ කියවන්නෙ නැත්නම්, මම ලියල වැඩකුත් නෑ.  ඉතින් ඒ නිසා, මම දැනට නවතින්නම්. මේ පෝස්ට් එකෙන් ඔබට ලැබුන දෙයක් නෑ තමයි. 

ඒත් අඩුගානෙ, අපි හඳුනගත්ත නෙව.


1 comment:

  1. ඔව්! අප හඳුනාගත්තා. ඉදිරියටත් හඳුනා ගනීවි.සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න.ජය වේවා.

    ReplyDelete