Monday, September 16, 2013

නැහැදිච්ච කෙල්ල - අත්දැකීමක් යැයි සැලකිය හැකි යමක්

අව්ව සැර වුනත්, ගස් නිසා වැව් කන්ඩිය හෙවනයි. මම වැව් කන්ඩිය දිගේ ඇවිදන් යනවා. ඉස්කෝලෙ එක්සිබිශන් එකට ෆොටොස් ගන්න ආවට, ආවෙ අපරාදෙ කියලා හිතෙන තරමට රස්නෙයි. මාත් එක්ක ආපු එකා මට බනිනවා. හරියට හම්බන්තොට එමුයි කිව්වෙ මම වගේ!
"උඹ තමයි කිව්වෙ ගම්වල වස්තු බීජ තියෙනව කියල!" ඌ කියනවා. ඉතින් යකෝ මම කිව්වද උඹට මාත් එක්ක එන්නෙයි කියලා? ඌ ආට්ස් කාරයා. අනේ උගෙ ආට්ස්!
ඌ ගහක් යට වාඩිවෙනවා.
"අව්ව අඩු වෙනකන් මම මෙතනින් හෙල්ලෙන්නෑ.බලපන් ඔය අව්වෙ කොහොමද යන්නෙ කියලා?" ඌ කියනවා.


"එහෙනම් උඹ හිටපන්, මම යනවා"

මම වැව් කන්ඩිය දිගේ දිගටම ඇවිදන් යනවා. නානතොටේ අම්මෙක් දරුවෙක්ව නාවනවා. වැවට බැහැලත් බාල්දියෙන් නාවන්නෙ. ඇයි වැවේ ගිලිල නොනාන්නෙ? ඇගෙන් එහෙම අහන්නත් මට හිතෙනවා. ඈ ළමයා නාවන ගමන් තවත් ගැණු කෙනෙක් එක්ක ලොකු කතාවක්. ළමයගෙ ඇ‍ඟේ සබන් ගාන ගමන් ඈ මහ හය්යෙන් හිනා වෙනවා. ඔවුන්ට මම ගැන අවදානයක් නෑ. ෆොටෝ එකක් ගන්නද? බෑ. ගමේ ගෑණුන්ගෙන් ගුටිකාලා ආයෙ කොළඹ යන්නෙ කොහොමද? මම දිගටම ඇවිදන් යනවා.

වැව් බැම්ම ඉවරයි. මම වැව් බැම්මෙ බෑවුම දිගේ වැව් පිටියට බහිනවා. වැවේ වතුර අඩුවෙලා. ඒත් වතුර තියෙන හරියෙ තවමත් නෙලුම් පිපිලා තියෙනවා. වතුරෙන් මතුවුන අත්තක් උඩ ඉබ්බෙක්. මට ඌ දිහා බල බල ඉන්න බෑ. මම දිගටම යනවා.

දිවුල් ගහක්! ගෙඩි පිරිලා. බඩගින්න වැඩිවෙනවා. කඩාගන්න පුලුවන් වේවිද ගෙඩියක්වත්? මම උඩ බලනවා. දෙයියනේ..! ගහ උඩ වන අප්සරාවක්! මම ඇස් පිහදාලත් බලනවා. නෑ, අප්සරාවක් නෙවේ, නිකන්ම නිකන් ගමේ කෙල්ලෙක්. දිවුල් ගහ උඩ ගමේ කෙල්ලෙක්. උදුම්බරා! පිංගුත්තර ඉන්නවද ලඟ පාතක? මම වට පිට බලනවා. නැති පාටයි. මම ගහට තව කිට්‍ටු වෙනවා.

ඈ කලුයි. පාට ගිය මෝස්තරයක් තියෙන ගවුමක් ඇඳලා. මූනට වැ‍ටුනු කෙස් රොද අව්වට දිලිසෙනවා. ඔව්, ඈ ලස්සනයි.  මට ඈ එක්ක කතාකරන්න හිතෙනවා. ඒත් ඈ ගහක් උඩ මොකක් කරනවද? දිවුල් ගස්වල ක‍ටු නේද? අනික ගෑණු ළමයි ගස් නගිනවද? ඈට මීට වඩා හැදියාවක් තියෙන්න ඕනෙ නේද? මගේ හිතේ ඈ ගැන නොසතුටක් ඇතිවෙනවා.

ආ... ඈ මාව දැකලා. ඈ ලස්සනට හිනාවෙනවා.

                                                           නැහැදිච්ච කෙල්ල!

අඳුනන්නැති කොල්ලෙක් එක්ක ඔහොම හිනාවෙන්න වටිනවද ගමේ කෙල්ලෙක්ට? කිසි හැදියාවක් නැති කෙල්ලක්. ගස් නගිනව මදිවට අඳුනන්නැති එවුන් එක්ක හිනත්වෙනව. මගේ නොසතුට වැඩිවෙනවා. මම ඈ ගැන සැලකිල්ලක් නොදක්වා වැව් පිටියෙ වස්තු බීජ හොයනවා. ඈ ගහෙන් බහිනවා ඇස් කොනෙන් මට පේනවා.

මෙන්න ඈ මා දිහාට ඇවිදන් එනවා! නැහැදිච්ච එකී... ඇගේ අතේ මොනවද තියෙනවා. ඈට හොඳනම් ඉතින් මට මොකෝ. අනික ඈ ලස්සනයිනෙ. මම ඈ දිහා බලන් ඉන්නවා. මා ළඟට එන ඈ මගෙ දිහාට අතක් දික්කරනවා.

 "මල්ලිටත් දිවුලක් ඕනෙද?"


1 comment:

  1. මේක කියවද්දි මතක් වුනේ සුනිලා අබේසිංහ මහත්මියගෙ "උදුම්බරා හිනැහෙනවා" සිංදුව...

    ReplyDelete