Friday, September 6, 2013

"හොවර්ඩ් කෙලී සහ කිරි වීදුරුවේ කතාව"

පොඩි කතාවක්. සමහරවිට අහලත් ඇති. කමක් නෑ, කියවල බලන්න. ඊට පස්සෙ ඉතුරු ටික.

***

ඉස්කෝලෙ යන්න සල්ලි හොයාගන්න විදිහක් නැතුව, ගෙයින් ගෙට ගිහින් බඩු විකුණන්න පුරුදුවෙලා හිටපු කොලුගැටයෙක් හිටිය. හොවර්ඩ් කෙලී තමයි නම. දවසක් මෙයා බඩගිනි වෙලා බලනකොට අතේ තියෙන්නෙ සත දහයයි.  සත දහයකට කන්න දෙයක් ගන්න බැරි නිසා මිනිහ හිතනව ඊළඟට යන ගෙදරින් මොනව හරි කන්න ඉල්ලගන්න ඕනේ කියල.

ඉතිං මිහින ඊළඟ ගෙදරට ගිහින් දොරට තට්ටු කරනව. ලස්සන තරුණ ගෑනු කෙනෙක් ඇවිත් දොර අරිනව. දැන් කොල්ලට කන්න දෙයක් ඉල්ලන්න මොකද්ද වගේ.
මෑන් වතුර වීදුරුවක් ඉල්ලනව. මිනිහ හෙනම හාමතේ ඉන්න බව දකින ගෑනු කෙනා කිරි වීදුරුවක් ගෙනත් දෙනව. කිරි වීදුරුව බීල මේ කොල්ල අහනව “මං ඔයාට කීයක් ණයද?” ගෑනු කෙනා කියනව “සල්ලි ඕනේ නෑ. මට මගෙ අම්ම කියල දීල තියෙන්නෙ කෙනෙක්ට කරන උදවු වලට සල්ලි ගන්න එපා කියල”

අවුරුදු ගානක් ගතවෙනව.

දරුණුවටම අසනීප වුන ගෑනු කෙනෙක්ව නගරේ ඉස්පිරිතාලෙට අරං එනව බේත් කරන්න. දොස්තරල කොච්චර බැලුවත් ලෙඩේ හොයාගන්න බෑ. ඒගොල්ලො තමන් දන්න හොඳම විශේෂඥ වෛද්‍යවරයව කැඳවනව. විශේෂඥ වෛද්‍ය හොවර්ඩ් කෙලී. ලෙඩා ආවෙ කොහෙ ඉඳන්ද කියල දැනගන්න හොවර්ඩ්ට පරණ සිදුවීමක් මතක් වෙනව. ටක් ගාල ගිහිං බලපු ගමන් ලෙඩාව අඳුර ගන්නව. කියන්න ඕනේ නෑනෙ, ලෙඩා තමයි අර ගෑනු කෙනා.

සෑහෙන කාලයක් තිස්සෙ බේත් කරල හොවර්ඩ් මේ ගෑනු කෙනාව හොඳ කරනව.

බිල දාන වෙලාව. හොවර්ඩ් ඉස්පිරිතාලෙ කට්ටියට කියනව බිල එයා ලඟට ගෙන්න කියල. බිලේ පැත්තක මොකද්ද ලියල අර ගෑනු කෙනා ළඟට යවනව. ජීවිත කාලෙම ගෙවන්න වෙන බිලක් ගැන බයෙන් ඉන්න ගෑනු කෙනා හෙමිහිට බිල දිගාරිනව. කවුද මන්ද පැත්තෙන් මොකද්ද ලියල.

Paid in full with one glass of milk”
Signed, Dr. Howard Kelly.

“එක කිරි වීදුරුවකින් ගෙවා අවසන් කරන ලදි”
අත්සන් කළේ, වෛද්‍ය හොවර්ඩ් කෙලී.

***

ඔන්න ඕක තමයි කතාව. විශේෂඥ වෛද්‍ය හොවර්ඩ් කෙලී සහ කිරි වීදුරුවේ කතාව. හැබැයි ගොඩක් අය දන්නෙ නැති දේ තමයි මේක ඇත්ත කතාවක් කියන එක. අපි ඉන්ටනෙට් එකේ, ෆේස්බුක් එකේ හැමදාම වගේ එක එක කතා කියවනවනෙ. ඒ ගොඩක් කතා කවුරු හරි ගොතපු ඒවා. මේක එහෙම නෑ.

 මේ ඉන්නෙ විශේෂඥ වෛද්‍ය හොවර්ඩ් කෙලී.




ඉපදිලා තියෙන්නෙ 1858 පෙබරවාරි 20. මියගිහින් තියෙන්නෙ 1943 ජනවාරි 12. අවුරුදු 85 ක්. නාරි හා ප්‍රසව විශේෂඥ. බටහිර වෛද්‍ය විද්‍යාවෙ එහෙම කොටසක් පටන් අරගන්න මුල් වෙලා තියෙන්නෙත් මෙතුමා තමයි. ඊට අමතරව ඇමරිකාවෙ මේරිලන්ඩ්වල ජෝන්ස් හොප්කින්ස් කියන, වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණු කරන ඉස්පිරිතාලෙ ආරම්භක කථිකාචාර්යවරුන් හතරදෙනාගෙන් එක්කෙනෙක්. පිළිකාවලට ප්‍රතිකාර කරන්න මුලින්ම රේඩියම් යොදාගෙන තියෙන්නෙත් මෙතුමා. Kelly’s sign, Kelly speculum, Kelly clamp, Kelly’s stitch වගේ වෛද්‍ය විද්‍යාත්මක වදන් හැදිලා තියෙන්නෙත් හොවර්ඩ් වෛද්‍යතුමාගේ නමින්.
 1889 දී ලෙටීෂියා බ්‍රිඩෝ නැමති කාන්තාවක් සමඟ විවාහ වෙලා දරුවන් නවදෙනෙකුගේ පියෙක් වූ බවත් සඳහන් වෙනව.

හොවර්ඩ් කෙලී ගැන ඒ ඇති. ඕනෙනං ඉන්ටනෙට් එකේ සර්ච් එකක් දාල බලන්න. තව ගොඩක් විස්තර තියෙයි.


කොහොම හරි මට කියන්න ඕනෙ වුන දේ තමයි, අපි හිතුවෙ නැති වුනාට අපි කරන පුංචිම පුංචි දෙයකින් කෙනෙක්ගෙ ජීවිතය කොච්චර වෙනස් වෙනවද කියන එක. ඒ ගෑනු කෙනා හොවර්ඩ්ට කිරි වීදුරුව දුන්නෙ නැත්තං මිනිහට දොස්තර කෙනෙක් වෙන්න බැරිවෙන්න තිබුන කියල නෙමෙයි මම මේ කියන්නෙ. එත් ඒ කිරි වීදුරුව නොවෙන්න පස්සෙ කාලෙදි හොවර්ඩ් එයාව අඳුරන්නෙ නැතිවෙන්න තිබුන. එහෙම වුනානං සමහරවිට එයාට සිද්ධ වෙන්නෙ මැරෙන්න.

නිකං හිතල බලන්න. ගතවෙන හැම තත්පරේකම අපි අනන්තවත් දේවල් හිතනව. තීරණ ගන්නව. ඒ හැම තීරණයක්ම බලපාන්නෙ අපිට විතරක් නෙමෙයි. අපි වටේ ඉන්න හැමෝටම බලපානව. ඒ කියන්නෙ අපි ගන්න තීරණවලින් තව අයගෙ ජීවිත කතාව වෙනස් වෙනව. ඒ වෙනස එතනින් නවතින්නෙ නෑ. ඒ මිනිස්සු ඒ විදිහට අපි නිසා වෙනස් වෙච්ච ජීවිතවල ඉඳන් ගන්න තීරණවලින් තවත් ජීවිත වෙනස් වෙනව. එහෙම බැලුවොත් අපි කරන පොඩි දෙයකින් ගොඩක් දෙනෙක්ට ලොකු බලපෑමක් වෙනව, සහ කරන්න පුලුවන්. ටිකක් දුරට හිතන්න ගියොත් මොළේ කොලොප්පන් වෙන සයිස් එකේ සීන් එකක්.

දැන් මට මේ කතාව වෙනමම පැත්තකට අදින්න පුලුවන්. ජාතිවාදය, ආගම්වාදය පැත්තට. හැබැයි මට උවමනාවක් නෑ ඒකට. ඒ හින්ද අපි මේක මෙතනින් නවත්තමු.

ඒත් මතක තියාගන්න තමන් කොච්චර බලවත් කෙනෙක්ද කියල. ඉතාම පොඩි දේකින් කොච්චර ලොකු වෙනසක් කරන්න පුලුවන් කෙනෙක්ද කියල. ඒ පොඩි දේ හොඳ දෙයක් නම්, ඒක තමයි ලොකුම දේ. 

2 comments:

  1. කෙලී සහ කිරි වීදුරුව! අගේ ඇති කතාවක් සොනික්.. කලින් අහල තිබ්බේ නෑ,ලියල තියෙනවාට වැඩි යමක් මේ කතාවේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. හිතන්න යමක් තියෙන කතාවක්.

      Delete